මෝටර් රථ අහස සිසාරා පියඹන ෆින්ලන්ත "විල් දහසේ රැළිය" - Where Cars Fly - The Wild Spirit of "Rally Finland"
ෆින්ලන්ත වනාන්තරයක පිහිටි දූවිලි බොරළු පිරි මාවතක් අද්දර මිනිසුන් පිරිසක් සිටගෙන නිහඬව බලා සිටින අතරතුර එක්වරම හදිසියේම ඈතින් ගිගුම් දෙන වාහන එන්ජිමක ශබ්දය ඇසෙනු ඇති.මොහොතින් මොහොත එම ඝෝශාව වැඩි වන අතර, එක්වරම රැලි මෝටර් රථයක් සෑම දෙසටම බොරළු සහ දූවිලි විසුරවමින් කඳු ගැට්ටක් මතින් පියාසර කරනු දක්නට ලැබෙයි.තත්පරයකට අහසේ තිබූ මෝටර් රථය පසුව තදින් පොලොව මතට ඇදවැටී පැමිණියාටත් වඩා වේගයෙන් ඉවතට ඇදී යන්නේ ඔබේ හදවත වේගයෙන් ගැස්මට ලක්කරමින්.සැබෑ "විල් දහසේ රැළිය - Thousand Lake Rally නොහොත් වර්තමානයේ Rally Finland හැඟීම කියන්නේ එයයි.එය අවදානම් සහගත නමුත් වේගවත් සහ ඇඩ්‍රිනලින් වලින් පිරුණු චමත්කාරජනක අත්දැකීමක්.
සෑම ගිම්හානයකම, ෆින්ලන්තයේ යුවැස්කුලා නගරය ලොව පුරා මෝටර් රථ රැලි රසිකයින්ගේ නිවහන බවට පත්වෙනවා.ෆින්ලන්ත රැලි මාවත් වනාන්තර හරහා, විල් අසබඩින් සහ ඉතා වේගයෙන් ඇඹරෙන සහ හැරෙන මාර්ග හරහා ගමන් කරන අතර ඒවායේ මෝටර් රථයක් හැසිරවිය හැක්කේ ඉතාම නිර්භීත රියදුරන්ට පමණයි.මිනිසුන් මේ මාවත් දෙපස කූඩාරම්, කඳවුරු තනා හෝ පුටු තබාගෙන හෝ සිටගෙන මේ උමතු සංදර්ශනය නැරඹීමට සූදානම් වනවා. සමහරු වඩා හොඳ දර්ශනයක් ලබාගැනීම සඳහා ගසකට නගින්නත් වුවත් පසුබට වන්නේ නැහැ.එය විශාල උත්සවයක් ලෙස දැනෙන නමුත් මෙහි සංගීතය යනු ගිගිරුම් දෙන මෝටර් රථ එන්ජින්වල ශබ්දයයි.
ෆින්ලන්ත මෝටර්ථ රැලියේ ඉතිහාසය 1951 දක්වා දිව යනවා.මුලදී, එය දේශීය තරඟයක් වූ නමුත් ඉක්මනින් එය ලෝකයේ විශාලතම සහ වේගවත්ම මෝටර් රථ රැලි වලින් එකක් බවට පත්වෙන්නට සමත්වුනා. වසර ගණනාවක් තිස්සේ, ෆින්ලන්ත රියදුරන් ඔවුන්ගේම දුෂ්කර මාර්ගවලදී පරාජය කිරීම පාහේ කළ නොහැක්කක් ලෙස පෙනුනා.හන්නු මික්කෝලා, යුහා කන්කුනෙන් සහ මාකස් ග්‍රොන්හෝම් වැනි ප්‍රසිද්ධ මෝටර් රථ රැලි ධාවන ශූරයින් මෙහිදී වීරයන් බවට පත්වෙන්නට සමත්වුනා. 1990 දී, කාලෝස් සයින්ස් පළමු ෆින්ලන්ත නොවන ජයග්‍රාහකයා බවට පත්වෙමින් ඉතිහාසය වෙනස් කළ අතර, එයම මෙම මාර්ග සැබවින්ම කෙතරම් විශේෂ හා දුෂ්කර දැයි මොනවට පෙන්වා දෙනවා.
ෆින්ලන්ත රැලිය නරඹන්නන්ට අමතක නොවන අවස්ථා බොහොමයක් තිබෙනවා.ඒ අතරතුර විශාල පැනීම් එනම් මෝටර් රථ මීටර් දුසිම් ගණනක් වාතය හරහා පියාසර කරන ස්ථාන ඔවුන්ගේ නොමද ආකර්ශනයට ලක්වෙනවා.2016 දී, ක්‍රිස් මීක් පැයට කිලෝමීටර 126 ට වැඩි වේගවත්ම රැලි සාමාන්‍ය වේගයක් සමඟ වාර්තාවක් තබන්නට සමත්වුනා.අද වනවිට කල්ලේ රොවන්පෙරා වැනි තරුණ තරු ෆින්ලන්ත රැලියේ අතීත කීර්තිය දිගටම රඳවාගනිමින්, ඇදහිය නොහැකි කුසලතාවයකින් හා ධෛර්යයකින් යුතුව තරඟ කරනවා දැකගත හැකියි.
එමෙන්ම ෆින්ලන්තය ලප්ලන්තයේ ආක්ටික් රැලිය සඳහා ද ප්‍රසිද්ධයි. මෙය ගැඹුරු ශීත ඍතුවේ දී සිදු වෙනවා.මාර්ග හිම සහ අයිස්වලින් වැසී ඇති අතරතුර, මෝටර් රථ උතුරු අහස යට අධික වේගයෙන් ලිස්සා යන ආකාරය සීතල, භයානක සහ ලස්සන යන සියල්ල එක්වර කැටිකර නරඹන්නාට ආශ්වාදයක් ගෙන එනවා.
ෆින්ලන්තයේ මෝටර් රථ රැලි වලට මිනිසුන් ප්‍රිය කරන්නේ එය සැබෑ සහ සමීප මෙන්ම භයානක අත්දැකීමක් ගෙන එන නිසයි.රසිකයින්ට පාර අයිනේ සිටගෙන සිටිය හැකි අතර එය පියාසර කරන මෝටර් රථවලින් මීටර් කිහිපයක් දුරින් වීම විශේෂයක්.ඔබට පොලොව සෙලවෙන බව දැනෙන අතර අවට දූවිලි සුවඳ දැනෙනවා.ඒ අතරතුරේ වරින්වර ඔබට එන්ජින් තුලින් නැගෙන මොරදෙන නාදය ඇසෙන්නේ එය ක්‍රීඩාවක් පමණක් නොව එය අත්දැකීමක් මෙන්ම සොබාදහමේ, වේගයේ සහ නිර්භීතකමේ මිශ්‍රණයක් බව පසක් කරමින්.
Rally Finland යනු මෝටර් රථ ධාවන තරඟයකට වඩා වැඩි යමක්.වරක් නැරඹුවහොත් එය සම්ප්‍රදාය, වේගය , නිර්භීතත්වය , ආශාව එකට කැටිකර ඔබ සමඟ සදහටම පවතින මතකයක් ගෙනදෙනු ඇති.
Kiitos ☺

Comments
Post a Comment