සරල බවින් සාමය සොයාගැනීම නොහොත් ෆින්ලන්තයේ සුවපහසු ජීවන රටාවේ කලාව -
ෆින්ලන්තයේ ජීවිතය බොහෝ විට ඇසට සනීපය ගෙන දෙන වර්ණවලින් ලියා ඇති නිහඬ දිනපොතක සටහනක් මෙන් දැනෙනවා.මෙහි බොහෝ අය ජීවත් වන්නේ විශාල විලා හෝ දැවැන්ත නිවාසවල නොව, කුඩා, ප්‍රායෝගික මහල් නිවාසවල, පේළි නිවාසවල හෝ මෘදු පැස්ටල් වර්ණවලින් පින්තාරු කරන ලද ලීයෙන් තැනූ ගම්බද නිවාසවලයි.පිටතින්, මෙම නිවාස සරල ලෙස පෙනුනත්, ඔබ ඒවායේ ඇතුළට යන විට, ඔබට සැමවිටම ෆින්ලන්තය වෙලාගත් ශීතලින් මිදුනු උණුහුම සොයාගත හැකියි.
සෑම නිවසක්ම, නිහතමානී තමන්ගේම කියා කතාවක් රැගෙන යනවා.බොහෝ නිවාසවල බිත්ති සිතුවම්, ඡායාරූප සහ අතින් සාදන ලද අත්කම් වලින් සරසා තිබෙනවා.බොහෝ නිවාසවල පොත්, ඉටිපන්දම් සහ වසර ගණනාවක් තිස්සේ එකතු කරන ලද කුඩා හුරුබුහුටි වස්තූන් වලින් පිරුණු රාක්කයක් දෙකක් වරදින්නේ නැහැ.ඒවායෙන් ගෙන එන හැඟීම තමන් සතු ධනය පෙන්වීම ගැන නොවන නමුත් තමන්ගේම කියා සිතට සැනසීමක් නිර්මාණය කිරීම ගැනයි.නිවස පිළිබඳ ෆින්ලන්ත අදහස වන්නේ එය ආරක්ෂිත කුරුළු කූඩුවක්, හදවතට විවේක ගත හැකි සන්සුන් අවකාශයක් වැනි අරුතක් ගැබ්වුනු දෙයක් යන්නයි.
නිවාස පිටත මෙන්ම ඇතුලත පෙනෙන ආකාරය සම්බන්ධයෙන් සෘතු විපර්යාසද විශාල කාර්යභාරයක් ඉටු කරනවා.ගිම්හානයේදී, මිනිසුන් නැවුම් මල්, වන පැළෑටි සහ සොබාදහමෙන් එකතු කරන ලද කොළ අතු වලින් තම නිවෙස් ඇතුලත සරසා ගන්නවා.තණබිම් මල් වලින් පිරුණු බඳුනකට නිවසේ මුළු කාමරයක්ම දීප්තිමත් කළ හැකියි.සරත් සෘතුවේ දී, උණුසුම් රතු සහ තැඹිලි පැහැති වර්ණවලින් යුත් ගිලිහී වැටුනු පත්‍ර වලින් සෑදූ සැරසිලි, ඉටිපන්දම් මේස මතට සහ ජනෙල් රාමු මතට ගොනු වෙනවා.
ශීත ඍතුව මෙකී නිවාස තුලට ගිලිහී වැටුනු පයින් කෝන්, ස්පෘස් අතු සහ විදුලියෙන් දැල්වෙන කුඩා විදුලි බුබුළු වැල් වලින් එන ආලෝකයන් ගෙන එන අතර ඒවා දිගු අඳුරු රාත්‍රීන්ට එරෙහිව නිවෙස තුල මෘදු දීප්තියක් නිර්මාණය කරන්නට සමත්වෙනවා.වසන්තයේ දී, තවමත් පත්‍ර පොහොට්ටු රැගත් බර්ච් අතු වතුර භාජනයක බහා මේස මත තබා ඇති අතර, පිටත ලෝකය තවමත් අළු පැහැයෙන් පවතින අතරතුරේ ඒවායේ නැවුම් හරිත පැහැ පැහැති පත්‍ර සෙමෙන් විවෘත වනවා.මෙම කුඩා සෘතුමය විස්තර සෑම නිවසකටම ජීවමාන බවක් ගෙන එන්නේ සොබාදහමේ රිද්මයට අනුව සැමවිටම වෙනස් වන බව අපට සෑම විටම මතක් කරමින්.
සන්සුන් භාවය යනු ෆින්ලන්ත ජීවිතයේ වටිනාම වස්තුව විය හැකිය කියා මට සිතෙනවා.නගරවල පවා වීදි සහ මිනිසුන් වාසය කරන අසල්වැසි ප්‍රදේශ සාමාන්‍යයෙන් නිහඬයි.මිනිසුන් අනවශ්‍ය ඝෝෂාවෙන් වැළකී සිටින අතර බොහෝදෙනා ඒ නිහඬ සාමය සඳහා ගැඹුරු ගෞරවයක් දක්වනවා.
නිවාස පෞද්ගලිකත්වය රැකෙන පරිදි සහ සුවපහසු ලෙස නිර්මාණය කර ඇත්තේත් එබැවින්.ඝන තිර රෙදි, මෘදු කාපට් සහ උණුසුම් බ්ලැන්කට් එකතු වී ඕනෑම කෙනෙකුට තම නිවසේ ශරීරයට මෙන්ම මනසටද විවේක ගත හැකි සහ නිශ්ශබ්දතාවය රජයන වාතාවරණයක් නිර්මාණය කිරීමට උපකාරී වී තිබෙනවා.බොහෝ දෙනෙකු වසරේ තම හොඳම සන්ධ්‍යාවන් ගත කරනු ලබන්නේ ඝෝෂාකාරී ස්ථානවල රැස්වීමෙන් නොව, නිහඬ තමන්ගේම කියා සමාගමයක , සමහර විටෙක ඉටිපන්දම් එළියෙන් තේ හෝ කෝපි කෝප්පයක් තොලගාමින්, පොතක් කියවමින් හෝ ජනේලයෙන් පිටත හිම වැටෙන ආකාරය නැරඹීමෙනුයි.
ෆින්ලන්ත ජීවන රටාව සුඛෝපභෝගීත්වය ගැනට වඩා සරලත්වය සහ පහසුව ගැන අවධානය යොමුකර ඇතැයි කිව්වොත් එහි වරදක් නැහැ.මෙහි පහන් කූඩු සහ ශාක වලින් සරසා ඇති පුටු දෙකක් සහිත කුඩා බැල්කනියක් සතුට සඳහා ප්‍රමාණවත් වෙනවා.ෆින්ලන්ත වැසියන්ට තම සීයා සහ ආච්චිගෙන් පරම්පරාවෙන් ලැබුණු ලී මේසයක් අලුතින් මිලදීගන්නා ලද නවීන මේසයකට වඩා වැඩි අර්ථයක් සහ වටිනාකමක් ගෙන එනවා.ෆින්ලන්ත ජීවිතයේ වටිනාකම මනිනු ලබන්නේ සන්සුන් උදෑසන, මෘදු ආලෝකය, කෝපි සුවඳ සහ කුඩා දෛනික වතාවත් වැනි කුඩා කුඩා දේවල් ජීවිතයට ගෙන එන ප්‍රීතියෙනුයි.පැස්ටල් පාට නිවාස සහ මෘදු ස්වභාවයෙන් වට වූ මෙම සරල ජීවිතය සමබරතාවයේ හැඟීමක් ඇති කරන්නට සමත්වන්නේ ඒ නිසයි.
ෆින්ලන්ත ගම්මානයක් හෝ නිහඬ අසල්වැසි ප්‍රදේශයක් හරහා ගමන් කරන විට, සුන්දරත්වය පවතින්නේ මහා සංදර්ශනවල නොව ආලින්දයක එල්ලා ඇති කුරුළු නිවසක්, ජනේලයක දැල්වූ ඉටිපන්දම් පේළියක් හෝ ගිම්හාන සුළඟේ වියළෙන අතින් සාදන ලද පලසක් වැනි කුඩා දෙයක නොවේදැයි මට බොහෝවිට සිතෙනවා.ඇත්තටම ෆින්ලන්ත ජීවිතය කියන්නේ සතුට ඝෝෂාකාරී හෝ විශාල දේවල් මත පදනම් විය යුතු නැති බව අපට මතක් කර දෙන ජීවන රටාවක්.ඒ සතුට නිශ්ශබ්දතාවයෙන්, කුඩා නිවසක සුවපහසුව තුළ සහ එකිනෙකට වෙනස් ඍතු තුල වනාන්තරයෙන් ණයට ගත් සරල සැරසිලි වලින් පවා සොයාගත හැකියි.
Kiitos ☺

Comments
Post a Comment