ෆින්ලන්තයේ අස්වැන්න වර්ශයේ අවසන සනිටුහන් කෙරෙන මංගල්‍යය - Mikkelinpäivä - End of Harvesting Year in Our Finnish Village


අද උදෑසන අපි අපගේ නිවසින් පිටත් වනවිටත් පෙරදා රාත්‍රියේ වට වැස්සෙන් අවට රයි කෙත්වල තැම්බෙමින් තිබූ පිදුරුවල සුවඳ තදින් අවට හමමින් තිබුනි.අප්පච්චි විසින් මීට නොබෝදිනකට පෙර අපේ රයි කෙත අස්වෑන්න නෙලීමෙන් පසු පිදුරු එකතුකර මිටි බැඳ තිබුණ අතර සරත් සෘතුවේ මුල් හිරු එළියෙන් ඒ පිදුරු සුදුමැලි වී බැබළුනි.මේ අවුරුද්දේ අපගේ අස්වැන්න හොඳ යැයි අප්පච්චි පැවසුවේය.කෙතේ වැඩ නිසා අපේ කොඳු රිදෙමින් අත් රළු වන නමුත්, අද අපි ගමේ චතුරශ්‍රය දෙසට ඇවිද යනවිට අපි සියල්ලන්ගේම පියවරේ සැහැල්ලුවක් ගැබ්ව තිබුණි.අද මික්කෙලින්පයිවා - Mikkelinpäivä, එනම් අපේ ගමේ අස්වැන්න වර්ශය අවසානය සනිටුහන් කරන මංගල්‍යය පැවැත්වෙන දවසයි.අපි වැනි ළමයින්ට ඒ ගැන කිවූ විගසින් මතක් වන්නේ සිනහව, සංගීතය සහ කෑමට පැණිරස බනිස් ලැබෙන පොරොන්දුවයි.

අම්මා ගමන් කරන අතරතුර කුඩා අන්නාගේ අත අල්ලාගෙන සිටියාය.මත්ති සුළඟේ කැරකෙන කහ පැහැති බර්ච් පත්‍රයක් පසුපස හඹා යමින් ඉදිරියට දිව ගියේය. "මත්ති...ඉන්න!" මම ඔහුට හඬනගා කිව්වේ රළු බොරළු ඇති අසමාන පාරේ ඔහුගේ පය පැකිළෙතැයි යන බියෙනි.ඔහු මට සිනාසෙමින් අත වනමින් නොනවත්වා දිවගිය අතර , ඔහුගේ තොප්පිය ඔසොවා හමන සුළඟින් ඔහුගේ කොණ්ඩය අවුල්වන්නට ඉඩදුන්නේය.අත්තම්මා ඇගේ සැරයටියට බරවෙමින් මා අසලින්ම සෙමින් ඇවිද ගියාය.නමුත් ඇගේ ඇස් අපේ ඇස්වලට වඩා දීප්තිමත්ව බැබළුණි."මම මගේ ජීවිතේ බොහෝ අස්වැන්න වාරයන් දැකලා තියෙනවා," ඇය රහසින් කිව්වාය."නමුත් මික්කෙලින්පයිවා දිනයේ ප්‍රීතිය කවදාවත් වයසට යන්නේ නැහැ."

අපි ගමේ චතුරශ්‍රයට ළඟා වූ විට, මට අපේ අසල්වැසියන්ගේ හඬවල්වල ඝෝෂාව මෙන්ම උඳුන් වලින් ගලා එන නැවුම් පාන් සුවඳ දැනුණි.චතුරශ්‍රය පුරා තැනින් තැන දිගු මේස සකස් කර, ඒවා රයි කරල් සහ වන මල් මිටි වලින් සරසා තිබුණි. ගමේ කාන්තාවන් ඔවුන්ගේ හොඳම ගවොම් ඇඳ ආයිත්තම් පැළඳ සිටි අතර, පිරිමින් සරත් සෘතුවේ සීතලෙන් රතු වූ කම්මුල් සහිතව ඔවුන් සතුව ඇති පිරිසිදු කමිසවලින් සැරසී ආඩම්බරයෙන් සිටගෙන සිටියහ. වැඩිහිටියන් අතර සිටි දරුවන් වේගයෙන් ඔබමොබ දිව ගිය අතර, ඔවුන්ගේ සිනහවේ හඬ වයලීනයක ශබ්දය සමඟ මිශ්‍ර විය.

ඉක්මනින්ම අප්පච්චි අසල්වැසියන්ගේ කවයක මධ්‍යයට එකතුවිය.ඔවුන් ඔහුගේ උරහිසට තට්ටු කර ගමේ පොදු ගබඩාව සඳහා ඔහු ගෙනා රයි අස්වැන්න ගැන ප්‍රශංසා කළහ. අම්මා ගමේ අනෙක් කාන්තාවන් සමඟ එකතු වී මේස මත බැදපු ඌරු මස්, පාන්, බෙරි පයි සහ තැම්බූ කෝපි වලින් සමන්විත ආහාරවේල පිළියෙළ කළාය.මම කෝප්ප තබා කූඩ රැගෙන ටික වේලාවක් ඇයට උදව් කළෙමි. නමුත් මගේ ඇස් මගේ වයසේ ගැහැණු ළමයින් කණ්ඩායම දෙසට ඉක්මනින්ම ගමන් කළේය.

මත්ති මගේ අත් දෙකෙන් අල්ලාගෙන "එන්න! ඔවුන් සෙල්ලම් ආරම්භ කරන්නයි යන්නේ!" කියමින් මාව තරුණයින් හා මහල්ලන් තරඟ සඳහා රැස්ව සිටි විවෘත අවකාශය දෙසට ඇදගෙන ගියේය. පිරිමි ළමයින් මුලින්ම ගෝනි ධාවන තරඟ උත්සාහ කරමින් දූවිලි ගොඩේ පෙරළෙමින් සිනාසෙමින් සිටියහ. මත්ති ඔහුගේ මුහුණ බිම වදින ලෙසින් බිම වැටුණත්, සිනාසෙමින් නැගිටගත් අතර ඔහුගේ කම්මුලේ කුණු බිඳක් තැවරී තිබුනි.අන්නා ඇගේ කුඩා දෙඅත්ල එක්කර අත්පුඩි ගසමින්, "නියමයි මත්ති!" කියා ඇගේ සුරතල් හඬින් කෑගැසුවාය.ඒ ඇසුණු හැමෝම පාහේ තදින් සිනාසුනෝය.

පසුව, මම ගැහැණු ළමයින් සමඟ නර්තනයකට එක් වුණෙමි.අපි සංගීත නාදයට අනුකූලව වේගයෙන් කැරකුණු අතර සායවල්හි රැළි ශබ්දය වයලීනයේ මෙන්ම බැලලයිකාවේ හඬද පරයමින් නැගෙන්නට පටන්ගත්තේය.මගේ කම්මුල් උණුසුම් වූ අතර දිගු අස්වැන්න නෙළන දිනවල දැනුනු වෙහෙස මට අමතක විය."තව වේගයෙන් කැරකෙන්න" පිරිමි ළමයෙක් කෑ ගැසුවේය.අපිට අපගේ සමබරතාවය නැති වනවා මෙන් දැනුන නමුත් තදින් නැගුනු අත්පොලසන් නාදය සහ සිනහව අපව ස්ථාවරව තබන්නට සමත්විය.

ආහාර මේසයට ලංවූ අප්පච්චි තම අත තිබූ වීදුරුව ඔසවා, "මේ අවුරුද්දේ භූමිය අපට කරුණාවන්ත වුනා.අපිත් එයට විශ්වාසවන්ත වෙමු." යැයි උස් හඬින් පැවසූ විට හැමෝම එය අනුමත කරමින් හිස වැනුවෝය.තොරතෝන්චියක් නැතුව දොඩවන අන්නා පවා මොහොතකට නිහඬ වුනි.අත්තම්මා මද සිනාවක් නගමින් කියාසිටියේ  "අපි ස්තුති කරන විට පොළොව ඊට සවන් දෙනවා." කියායි.

හෙල්සින්කි සිට පැමිණි ඡායාරූප ශිල්පියෙකු ඔහුගේ පෙට්ටි කැමරාවද ඇතිව පල්ලිය අසල සිටිනු දුටු අම්මා ඔහු වෙත ගොස් ඡායාරූපයක මිල  ඇසුවාය.ඔහු රාමුව සහිත ඡායාරූපයකට මරක්කා පහලොවක් ඉල්ලූ නමුත් අම්මා හෙට්ටු කිරීමෙන් අනතුරුව මරක්කා දහයකට ඡායාරූපය ගැනීමට ඔහුව එකඟ කරගත්තේය.මරක්කා දහයක මිල ගැන වුවද අප්පච්චි මැසිවිලි නැගුවද අම්මාගේ ආශාව සහ බලපත් පෙරැත්තය මත අවසානයේදී එකඟ විය.මා මැදිකරගත් පවුලේ සියල්ලෝම නොසෙල්වී ඡායාරූපයට පෙනීසිටි අතර වඩාත් අපහසු වූයේ අන්නා එක ආකාරයට තබා ගැනීමයි.මාසයක් ඇතුලත රාමුකරන ලද ඡායාරූපය ගෙනවිත් දීමට ඡායාරූප ශිල්පියා පොරොන්දු වූයේ මරක්කා පහක අත්තිකාරම් මුදල අම්මා ඔහුට ගෙවූ විටයි.ඔහු ඒ වෙනුවෙන් ඇයට රිසිට් පතක්ද ලබාදුන්නේය.

සියල්ලෝම එක්ව මංගල්‍යයේ සකසා තිබූ ආහාර ගැනීමෙන් පසු, මම පවුලේ අය සමඟ ගම් චතුරශ්‍රයේ කෙළවරේ වාඩි වී, සවස් වන විට පහන් කූඩු දල්වන ආකාරය බලා සිටියෙමි. ඒවායේ මෘදු දීප්තිය මා වටා වූ මුහුණු එලි කළේය. අම්මා අප්පච්චීට හේත්තු වී, වෙහෙසට පත් වූ නමුත් තෘප්තිමත් මුහුණක් ඇතිව සිටියාය.මත්ති තවමත් අනෙක් පිරිමි ළමයින් පසුපස හඹා ගිය අතර, අන්නා නිදිමතෙන් ඇගේ මාපටැඟිල්ල උරා බොමින් අත්තම්මාගේ උකුලට වී සිටියාය.ආහාර සහ සංගීතයෙන් පමණක් නොව, අපේ පවුල, අසල්වැසියන්, ගොවිතැනින් , අස්වැන්නෙන් සහ සැමරුමෙන් බැඳී ඇති අපේ ගම සහ අසල්වැසියන් යන සියල්ලේ සමීපතාවයෙන් මට මගේ පපුවේ උණුසුමක් දැනුනි.

අපි තරු පිරි අහස යටින් නැවත ගෙදර බලා යන විට, මත්ති මුමුණමින්, “සෑම දිනක්ම මික්කෙලින්පයිවා දිනයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් පැවසුවේය. මම සිනාසෙමින්, “හැමදාම උත්සව පැවැත්වුවොත්, රයි වවන්නේ කපන්නේ එකතු කරන්නේ කවුද?” කියා ඇසුවෙමි. අප්පච්චි ඒ ගැන සිනාසුණු අතර, නිදිමත අන්නා පවා පැවසූ දේ ඈට නොතේරුන නමුත් ඇගේ සුරතල් හඬින් සිනාසුණාය.

ඉතින්, අපි අපේ පිරුණු කුසවල් සහ සැහැල්ලු වූ හදවත් ඇතිව , අපේ කුඩා නමුත් උණුසුම් සැනසිලිදායක ගොවිපල නිවසට ආපසු ලඟාවුනෙමු. ඊළඟ වසරේ වගාකන්නය ඇරඹෙන තුරු බලා සිටි කෙත්වතු අප පිටුපස නිහඬව බලා සිටියෝය.

Kiitos ☺

සටහන - Mikkelinpäivä නැතිනම් St.Micheals Day දිනය සාමාන්‍යෙයෙන් සරත් සමයේ මැද භාගයේ එනම් සැප්තැම්බර් 29ට පසු එළඹෙන ඉරිදා දිනයේ ෆින්ලන්තය තුල සමරනු ලබනවා.අතීතයේ අස්වැන්න වර්ෂය අවසානය සනිටුහන් කරමින් මෙදිනට ෆින්ලන්ත ගම්මානවල උත්සව අවස්ථා පැවැත්වී තිබුනා.වර්තමානයේ මෙකී උත්සව පැවැත්වීම එතරම්ම දකින්නට ලැබෙන්නේ නැහැ. 

Comments

Popular posts from this blog

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä

සරත් සමයේ දිනෙක අත්තම්මා සමග ෆින්ලන්තයේ වනාන්තරයක බිම්මල් නෙලීම - Autumn Forest Diary in Finland Mushroom Picking with Grandma