ශීත ඍතුවේ උණුහුම ගෙන දුන් ෆින්ලන්තයේ ගෙත්තම් කලාව - Stitches Through Time : The Knitting Heritage of Finland

පසුගිය සති අන්තය වනවිට මේ වසරේ සරත් සෘතුවේ පළමු සිසිල් සුළං බර්ච් ගස් අතුපතරින් හමායන්නට පටන්ගත් අතර වෘක්ෂමත තිබූ හරිත පැහැ පත්‍රයන් දැන් දැන් ක්‍රමයෙන් රන්වන් පැහැයට හැරෙන්නට පටන් ගෙන ඇත.අද නිවස තුල ගත කිරීමට කදිම සන්ධ්‍යාවක් ලෙස දැනුණු බැවින් මම ,අම්මා සමග අත්තම්මා වාඩි වී සිටි විසිත්ත කාමරයේදී ඔවුන් හා එක් වුණෙමි. ගිනි උදුනේ ඇති ගින්න මෘදු ලෙස දැල්වුනු අතර, දැව යොදා තැනූ අපගේ කුඩා නිවසේ මේසය මත සිසිල් වන නැවුම් පාන් සුවඳක් දැනුනි. එදින කාලය මන්දගාමී වන අතරතුර කතන්දර ජීවයට පැමිණෙන ආකාරයේ කදිම සන්ධ්‍යාවක් විය.

අම්මා මට ගෙතුම් ඉඳිකටු යුගලයක් දුන්නාය.මම මුලින් සිනාසුණෙමි, මන්ද මගේ ඇඟිලි ඒවා මත අවුල් සහගත ලෙස හැසිරෙන බව මට දැනුනු නිසාවෙනි. නමුත්, "සෑම ගෙතුම්කරුවෙකුගෙම ආරම්භය ඔය වගේ තමයි.අත්තම්මා පවා වරක් ඇය සෑදූ ප්‍රමාණයට වඩා වැඩි මැහුම් ගෙත්තම් කලා." යැයි අම්මා මා ධෛර්යමත් කරමින් කීවාය.පරම්පරා තුනක අපි සමීපව වාඩි වී සිටින අතර අපගේ දෑත් වූල් නූල් මත කාර්යබහුල වන අතරේ අපගේ කටහඬ පැරණි මතකයන් නව මතකයන් බවට පත් කරන්නට පටන්ගති.

අපි වැඩ කරන අතරතුර, අත්තම්මා අතීතය ගැන කතා කිරීමට පටන් ගත්තාය. ගෙතුම් කිරීම සැමවිටම ෆින්ලන්ත ජන ජීවිතයේ කොටසක් වී තිබූ ආකාරය ඇය මට පැවසුවාය. බොහෝ කලකට පෙර, එනම් සාප්පු සහ කර්මාන්තශාලා ඇතිවීමට පෙර, ගම්බද ප්‍රදේශවල කාන්තාවන් විනෝදාංශයක් ලෙස නොව අවශ්‍යතාවයක් ලෙස ගෙතුම් කළ බව ඇය පැවසුවාය. 

ෆින්ලන්තයේ ශීත කාලය දිගු, අඳුරු සහ අනුකම්පා විරහිත වූ අතර උණුසුම් ඇඳුම් යනු මේසය මත ආහාර තරම් වටිනා වූවක් විනි. ගෘහණියන්, දියණියන් සහ අත්තම්මලා සවස් කාලය ගිනිඋදුන අසල ගත කළේ වූල් යොදාගෙන මේස්, අත්වැසුම් සහ ස්වේටර් ගෙත්තම් කරමිනි. සෑම ගෙත්තමකින් හා මැහුමකින්ම  උණුසුම අදහස් කළ අතර, මැවුනු සෑම රටාවක්ම ශීතලෙන් ශරීරයට රැකවරණය ගෙන ආවේය.

අත්තම්මාට පසු අම්මා ඇගේම මතකය එකතු කළාය.එළදෙනුන් තණබිම්වලින් ආපසු එන තෙක් බලා සිටියදී අත්තම්මා එලිමහනේ පවා ගෙත්තම් කල හැටි ගැන ඇගේ මතකය ගෙන හැර පෑවාය.කාන්තාවන් සෑම තැනකම , එනම් දරුවන් දෙස බලා සිටියදී, අසල්වැසියන් බැලීමට ගිය විට හෝ උඳුන තුල පාන් පිලිස්සෙන තෙක් බලා සිටියදී පවා ගෙත්තම් ඉඳිකටු රැගෙන ගෙත්තම් කල ආකාරය ඇය පවසමින් සිනාසුණාය.“ගෙතීම මගින් අපේ සරල ජීවිතයේ නිහඬ අවස්ථාවන් අපි පුරවා ගත්තා,” ඇය පැවසුවාය. “ඇත්තටම එය හුස්ම ගැනීමක් වගේම ඉබේම අපි නොදැනුවත්වම වෙන තරම් ක්‍රියාවක් වුනා.”

අත්තම්මා හිස වනමින් ගමේ ගෙතුම් කව ගැන කතා කළාය.එහිදී කාන්තාවන් තම ගෙතුම් වැඩ සමග රැස්වී, ගීත ගායන සහ රස කථා අතරතුර අත්දැකීම් බෙදා ගත් හැටි ඇය රසවත්ව මතකයට නැංවූවාය."එතන ඇඳුම් ගෙතීමට වඩා වැඩි දෙයක් වුනා.එය සමාගමය, සම්ප්‍රදාය සහ දැනුම මවගෙන් දියණියට සම්ප්‍රේෂණය වීම වගේ මෙන්ම වූල් වලින් එක් එක් රටා මැවීමේ රහස් පවා බෙදාගත් තැනක් වුනා."

මම මගේ දුර්වල අසමාන ගෙත්තම් දෙස බලා, මේ ආකාරයටම කලකිරී නමුත් අධිෂ්ඨානශීලීව වාඩි වී සිටි මට පෙර සිටි තරුණ ගැහැණු ළමයින් ගැන සිතුවෙමි.උදුනේ ගින්න අඩුවෙන් දැවෙන අතරතුර ඔවුන්ගේ වැඩිහිටියන්ට සවන් දෙමින් සිටි ඔවුන් අතරතුර මමද ඒ දම්වැල් ගෙත්තමේ කොටසක් මෙන් දැනුනි. සියවස් ගණනාවකට පෙර මෙහි ජීවත් වූ අය සමඟ මාද සම්බන්ධ කළාක් මෙන් වූල් නූල් කාලය හරහා දිගු වෙමින් ගෙත්තම් අතර දඟ වැටෙමින් තිබුනි.

"දැන් පවා, ෆින්ලන්තයේ සෑම තැනකම ගෙතුම් වැඩ තියෙනවා." අම්මා පැවසුවාය.පාන් සහ කිරි වගේම ෆින්ලන්තයේ සෑම සුපිරි වෙළඳසැලකම පාහේ වූල් , නූල් සහ ඉඳිකටු විකුණන ආකාරය ඇය සඳහන් කළාය. ගණන් කළ නොහැකි වර්ණවලින් යුත් , ලොම් වලින් තැනූ නූල් බෝල රාක්ක මත ගොඩගැසී මිනිසුන් ඒවා ලබා ගන්නා තෙක් බලා සිටින ආකාරය මට මැවී පෙනුනි.අත්‍තම්මා තවදුරටත් මෙසේ පැවසුවාය, “දැන් නගරවල පවා - බස් රථවල, දුම්රියවල, උද්‍යානවල. තරුණ හා මහලු, කාන්තාවන් පමණක් නොව පිරිමින් පවා ප්‍රසිද්ධියේ ගෙතුම් කිරීම දෛනික ජීවිතයේ කොටසක් වී තියෙනවා".ගෙත්තම් කිරීම තවමත් ෆින්ලන්ත ජීවිතයේ කොටසක්.

මේ මොහොතේත් සරත් සෘතුවේ නගර උද්‍යානවල සිටින මිනිසුන් කහ පැහැති ගස් යට නිහඬව ගෙතුම් කරන බව මම සිතුවෙමි.සම්ප්‍රදාය නොනැසී ඉදිරියටම යමින් පවතින බව දැන ගැනීමෙන් මට යම් ආකාරයක සැනසීමක් දැනුනි.එයින් තවදුරටත් ගෙත්තම් කලාවේ පැවැත්මට වඩා තවමත් එය උණුසුම සහ සාමය ලබාදීම පිලිබඳ හැඟීමක් මා තුල ජනිත කලේය.

අම්මා මගේ දෑත් මෙහෙයවීම සමීපව නිරීක්ෂණයට මදක් නැඹුරු විය. “කලබල වෙන්න එපා,” ඇය පැවසුවාය. “ගෙතුම් වැඩ ඉවසිලිවන්තව කරන්න ඕන” අත්තම්මා මෘදු ලෙස එකතු කළා, “ගෙත්තම් කරනවා කියන්නේ මේස් හෝ ස්කාෆ් හැදීමම පමණක් නොවෙයි.එයට ඔබේ හදවතේ සන්සුන්කමත් ඇතිකරන්න ඉඩ දෙන්න.”

පිටත, සීතල සුළඟ රිද්මයකට මෙන් කවුළුමත වදිමින් තිබුන අතරතුර ඇතුළත, අප අත තිබූ ගෙතුම් ඉඳිකටු නිහඬ රිද්මයක් ඇතිව ස්ථාවර හා උණුසුම් ලෙස නූල් මත ඔබ මොබ දුවමින් තිබුනි.ෆින්ලන්තයේ ගෙතීම මෙතරම් කාලයක් පැවතුනේ මන්දැයි මට එවිට වැටහුණි.එය පරම්පරාවන් එකට, මැහුමෙන් මැහුමට, හදවතින් හදවතට බැඳ තබන්නට සමත්වුනු කරුණක්.

මගේ පළමු ගෙතුම් පේළිය අවසන් කරන විට, මම මටම පොරොන්දුවක් මුමුණා ගත්තෙමි.මම අප නිවසේ මෙම ගෙතුම් සම්ප්‍රදාය ජීවමානව තබා ගන්නෙමි. යම් දිනක, සමහර විට, මම මගේම දියණිය සමඟ ගිනි උදුන අසල වාඩි වී, ඇයටද ගෙතුම් පිලිබඳ රස කතා කියමින්, ඇගේ දෑත් මෙහෙයවමින්, අප සියල්ලන්ම බැඳ තබන නිමක් නැති ගෙත්තම් නූලට ඇයද එක්වන ආකාරය බලා සිටින්නෙමි.

Kiitos ☺

සටහන - අද දින සටහන ලිවූයේ ෆින්ලන්තයේ ගෙත්තම් ( Knitting ) කලාව ගැනයි.අතීතයේ එය කලාවකට වඩා ශරත් සහ ශීත සෘතුවේ සීතලින් ශරීරය වසා ගැනීමට අවශ්‍ය ඇඟළුම් නිර්මාණය කරගැනීමට සෑම නිවෙසකම පාහේ සිදුකල කටයුත්තක්.වර්තමානය වනවිට යන්ත්‍රෝපකරණ මගින් එම කටයුත්ත සිදුවී වෙලඳසැල් රාක්ක පිරී ඉතිරී යනතෙක් ඇඟළුම් තිබුනද අදටත් ගෙත්තම් කලාව ෆින්ලන්ත ජනජීවිතයේ කොටසක්ව තිබෙනවා.සමහරු එය විනෝදාංශයක් ලෙස සිදුකරන අතර තවත් සමහරු , විශේෂයෙන්ම විශ්‍රාමික ප්‍රජාව එලෙස ගෙත්තම්කරන ලද මේස් , ස්කාෆ් විකිණීමෙන් තමන්ට අමතර ආදායමක්ද උපයාගන්නවා.


 


Comments

Popular posts from this blog

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä

සරත් සමයේ දිනෙක අත්තම්මා සමග ෆින්ලන්තයේ වනාන්තරයක බිම්මල් නෙලීම - Autumn Forest Diary in Finland Mushroom Picking with Grandma