ෆින්ලන්තයේ පොදු ප්‍රවාහන බස් සේවයන් මගී ජනතාවගේ ආරක්ෂාව සහ පහසුව සලසමින් විශ්වාසය දිනාඇති ආකාරය - Safety and Comfort on Wheels Why Finland's Buses Earn Our Trust


අද මම ෆින්ලන්තයේ, පොදු ප්‍රවාහනය තුල විශේෂයෙන් බස්රථයක් මගින් ගමනක් යෑම කොතරම් ආරක්ෂිත සහ සුවපහසුද යන්න ගැන මෙනෙහි කළා. එය බොහෝ ෆින්ලන්ත ජාතිකයන් විසින් එදිනෙදා ලබාගන්නා සේවාවන්ගෙන් එකක් වන අතර හොඳින් නිරීක්ෂණය කරන කෙනෙකුට, ෆින්ලන්තයේ බස් ගමන් ආරක්ෂිත කිරීම සඳහා ගන්නා විනය සහ සැලකිල්ල සැබවින්ම සිත් ඇදගන්නාසුළු බව දැකගත හැකියි.

ෆින්ලන්තයේ කිනම් නගරයක වුවද බස් රථ සේවාවේ කැපී පෙනෙන පළමු දෙය නම් බස් රථ රියදුරන් වනවා.ෆින්ලන්ත බස් රියදුරන් සියල්ලන්ම හොඳින් ඇඳපැලඳගත් ඉතා විනයගරුක වෘත්තිකයන් වන අතර ඔවුන් තම මගීන්ට ගරු කරමින් තම රාජකාරිය වන මගීන් ගමනාන්තය දක්වා රැගෙන යාමේ වගකීම ඉතා බැරෑරුම් ලෙස සලකන පිරිසක්.බස් රථයේ එන්ජිම පනගැන්වූ මොහොතේ සිට ඔවුන්ගේ අවධානය ආරක්ෂාව කෙරෙහි යොමු වනවා.කෙටිමං හෝ අනවශ්‍ය අවදානම් නොගෙන ඔවුන් වේගසීමාවන් ඇතුළුව සියළු රථවාහන නීති දැඩි ලෙස පිළිපදිමින් බස් රථ ධාවනය කරනවා.

එය කාර්යබහුල නගර වීදියක් හෝ නිහඬ ගම්බද මාර්ගයක් වේවා, වෙනසක් නැතිව ඔවුන් ස්ථාවරව සහ සන්සුන්ව රිය පදවනු දැකගත හැකියි.මෙය මගීන්ට තමන් හොඳ ආරක්ෂාවක් ඇතිව සිටින බවට විශ්වාසයක් ලබා දෙනවා.රියදුරාගේ ආසන පටිය සැමවිටම ක්‍රියාකාරී තත්ත්වයේ පවතින අතර, බස් රථය එහි ගමන්වාරය ඇරඹීමට පෙර කැමරා ඇතුළු අවශ්‍ය සියලුම ආරක්ෂක මෙවලම් ක්‍රියාත්මක තත්වයේ ඇති බවට රියදුරන් සහතික කරගන්නවා.

ෆින්ලන්තයේ බස් රියදුරන්ගේ මෙම වෘත්තීය මට්ටම පිටුපස හොඳ අධ්‍යාපනයක් සහ පුහුණුවක් තිබෙනවා.ඔවුන් බස් රියදුරන් ලෙස රැකියාව ආරම්භ කිරීමට පෙර ප්‍රවේශමෙන් සූදානම් කිරීමකට භාජනය වන අතර එහිදී ඔවුනට වාහනය හැසිරවිය යුතු ආකාරය ගැන පමණක් නොව, මිනිසුන් සමගද හැසිරිය යුතු ආකාරය ද උගන්වනු ලබනවා.

විශේෂයෙන් ළමයින්ට, වැඩිහිටියන්ට සහ ආබාධ සහිත පුද්ගලයින්ට ගරු කිරීම ෆින්ලන්ත බස් සංස්කෘතියේම කොටසක්.රියදුරන් දරුවෙකු  බසයට නැග වාඩිවන තෙක් ඉවසිලිවන්තව බලා සිටින ආකාරයෙන්, වැඩිහිටි මගියෙකුට වඩාත් පහසුවෙන් බැස යාමට බස් රථයේ තට්ටුව පහත් කිරීම හෝ රෝද පුටු භාවිතා කරන්නෙකුට කරදරයකින් තොරව බස් රථයට නැගීමට හැකි වන පරිදි බස් රථය පැත්තට ඇල කිරීම වැනි ක්‍රියාවක් තුළින් එය පෙන්නුම් කරනවා.මෙම කුඩා ක්‍රියා මගින් ඔවුන්ගේ විශිෂ්ට වටිනාකම් සහ විනය ගැන මොනවට පවසා සිටිනවා.

බස් රථ නවත්වන්නේ ඒවාට අදාල බස් රථ නැවතුම් ස්ථානවල පමණක් වන අතර රථය ගමන්ගන්නා සෑම විටම එහි සියළුම දොරවල් වසා තිබෙනවා.එමෙන්ම කාර්‍යබහුල නොවන වේලාවන් හීදී බොහෝවිට බස් රථයට ගොඩවන සෑම මගියෙකුටම සුබ පැතීමක් කරන්නටත් රියදුරන් අමතක කරන්නේ නැහැ.ෆින්ලන්තයේ බස් රථ තුල ‍රියදුරු අසුන මත රියදුරු මහත්වරු මෙන්ම එකලෙස රියදුරු මහත්මියන්ද දැකීමද සුලබ දසුනක්.

ෆින්ලන්තයේ බස් රථ වල ආරක්ෂාව ගැන වදවන්නේ රියදුරු පමණක් නොවෙයි.සෑම බස් රථයක්ම කලට වේලාවට නිරවද්‍යතාවයෙන් යුක්තව නඩත්තු කෙරෙන අතර වාහනයේ සෑම විස්තරයක්ම දන්නා දක්ෂ පුහුණු කාර්මිකයන් විසින් නිතිපතා පරීක්ෂාවන් සිදු කරනු ලබනවා.ගැටළුවක් හමු වුවහොත්, එය වහාම නිවැරදි කරනු ලබනවා මෙන්ම අලුත්වැඩියා කිරීමෙන් හෝ නඩත්තු කිරීමෙන් පසු, බස් රථ කෙලින්ම සේවයට යවනු වෙනුවට, සියල්ල පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම සඳහා ඒවා මුලින්ම පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන යනු ලබන අතර එම ධාවන පරීක්ෂණය සමත්වීමෙන් පසුව පමණක් ඒවා නැවත මහජන ප්‍රවාහනය වෙනුවෙන් භාවිතය සඳහා මුදා හරිනු ලබනවා.මෙම කාර්‍යය මගින් මාර්ගයේ ගමන් ගන්නා බස් රථ යාන්ත්‍රිකව සහ මගී ආරක්ෂාව අනුව ඉහළම තත්ත්වයේ පවතින බව සහතික කරනවා.

ෆින්ලන්තයේ මගී බස් රථ ඇතුළත, පරිසරය සන්සුන් හා ප්‍රසන්නයි.මිනිසුන්ගෙන් පිරී තිබියදී පවා ඒවා කෙතරම් නිහඬද යන්න කැපී පෙනෙන කරුණක්.අනවශ්‍ය ශබ්දය ඉතා අඩු නිසාම බොහෝ මගීන් පොත් හෝ පුවත්පත් කියවීමට හෝ සරලව විවේක ගැනීමට මෙම බස් රථයේ ගමන්ගන්නා කාලය භාවිතා කරනවා.මෙම නිහඬතාවය බලහත්කාරයෙන් හෝ නීති පැනවීමකින් සිදු වූවක් නොව ස්වභාවිකව සහ මිනිසුන් අතර එකිනෙකාට ඇති අන්‍යෝන්‍ය ගෞරවය නිසාම ඇති වූවක්. 

බස් රථවල රියදුරන්ගේ අවධානය වෙනතකට යොමු කරන සැරසිලි හෝ රියදුරුගේ දෘශ්‍යතාව අඩු කළ හැකි අමතර ආලෝකකරණ කිසිවක් සවිකර නැහැ. බස් රථය නිශ්පාදනයේදී ඇතුලත්වන අවශ්‍ය විදුලි පහන් සහ උපකරණ පමණක් සවි කර ඇති අතර එමඟින් රියදුරුට බාධාවකින් තොරව මාර්ගය සහ අවට පරිසරය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගත හැකියාව ලබාදෙනවා.මේ සියල්ල සැලසුම් කර ඇත්තේ ප්‍රායෝගිකත්වය සහ මගියාගේ ආරක්ෂාව යන කරුණු මනසේ තබාගෙනයි.

ෆින්ලන්ත බස් සේවය ගැන සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ ඒවායේ ගමන්වාර කලට වෙලාවට අනුව වැඩ කිරීමයි. ෆින්ලන්ත බස් රථ සාමාන්‍යයෙන් පැමිණීම සහ පිටත්වීම සිදුවන්නේ කාලසටහනකට අනුව වන අතර එය නැවතත් රියදුරුගේ විනය සහ මාර්ග පද්ධතිය කෙරෙහි තබා ඇති විශ්වාසය සමඟ සම්බන්ධ වනවා.

එවිට තම ගමනාන්තයට ආරක්ෂිතව ළඟා වීමට පමණක් නොව නියමිත වේලාවට ළඟා වීමටද බස් රථය මත විශ්වාසය තැබිය හැකි බව මගීන් දන්නවා.මෙය බස් රථ ප්‍රවාහනය ගැන විශ්වාසය ගොඩනැංවීම සිදුකරන අතර පුද්ගලික මෝටර් රථවලට වඩා පොදු ප්‍රවාහනය තෝරා ගැනීමට වැඩි පිරිසක් දිරිමත් කිරීම කරමින් මාර්ග ආරක්ෂිත කරන්නේ නගරබදව අඩු වාහන තදබදයක් ඇති කරමින්.

නූතන තාක්ෂණය සහ ඩිජිටල්කරණයද ෆින්ලන්තයේ බස් රථ සේවාවට ලබාදී ඇත්තේ මනා පිටුවහලක්.සියළුම බස් සේවා සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර මාර්ගගතව ( Online ) හෝ ජංගම දුරකථන යෙදවුම් ( App ) මගින් මෙන්ම කාඩ්පත් මගින් ගෙවීමෙන් බස් රථයේ ඇති යන්ත්‍රයෙන් පවා ලබාගත හැකියි.හෙල්සින්කි නුවර හා ඒ අවට යොදාගන්න ජංගම දුරකථන යෙදවුම මගින් තමන් ගමන්ගන්නා බස් රථය ඇති ස්ථානය GPS පහසුකම් මගින් කල්තියා පවා බලාගත හැකියි.

එමෙන්ම එමගින් කල්තියා තම ගමන සැලසුම් කර ගත හැක්කේ බස්‍ රථ කිහිපයක් මාරුවෙමින් භාවිතා කරන්නට වන අවස්තාවන්ද එමගින්ම ස්වයංක්‍රීයව සකසා මගියාට ලබාදෙන බැවින්.මගී ප්‍රවාහනයට යොදාගන්නා බස් රථද නවීන තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් සමත්විතව නිශ්පාදනය කර තිබෙනවා.විදුලි බලයෙන් ( බැටරි ආරෝපන මගින් ) ධාවනය වන බස් රථද දැන් දැන් ෆින්ලන්තයේ වඩාත් සුලබ වෙමින් පවතිනවා.

සමහරවිට ෆින්ලන්තයේ බස් පොදු ප්‍රවාහනය ගැන සැලකූ විට මම වඩාත්ම අගය කරන්නේ කාර්යක්ෂමතාව සහ මනුෂ්‍යත්වය අතර සමබරතාවයයි. ඒ තාක්ෂණය, නීති සහ නඩත්තුව යන සියල්ල වැදගත් වන නමුත් මේ පද්ධතියේ හදවත වන්නේ මිනිසුන් වන බැවින්.ප්‍රවේශම් සහගත සහ ගෞරවනීය රියදුරන් , තම කාර්යය හොඳින් ඉටුකරන කාර්මිකයන් , නිශ්ශබ්දතාවය  අගය කරන සහ සම්මතයන් අනුගමනය කරන මගීන් යන සියළුදෙනා එක්ව ආරක්ෂාව බලහත්කාරයෙන් නොව ස්වාභාවිකම ඇති පොදු ප්‍රවාහන පරිසරයක් නිර්මාණය කර තිබෙනවා.

අද මම බස් රථයෙන් ගමනක් ගොස් බහිනකොට මගේ සිතට නැගුනු දෙයනම් මේ සරල දෛනික චර්යාව ෆින්ලන්ත සමාජය ගැන කොතරම් දේ කියාපානවද කියලයි.නීතිරීතිවලට ගරු කිරීම, එකිනෙකා ගැන සැලකිලිමත් වීම, තාක්ෂණය සහ හැකි සියළු විස්තර කෙරෙහි අවධානය යොමු කිරීම යන සියල්ල එක ආරක්ශිත සහ සැප පහසු බස් ගමනකට එකතු වෙනවා. එය එක තැනක ඉඳන් තවත් තැනකට මගියෙකු ප්‍රවාහනය කිරීමට සීමා නොවී ආරක්ෂාව, විනය සහ නිහඬ විශ්වාසය පිළිබඳ චංචල උදාහරණයක් වී ඇති සැටි දකින්නට කදිම දසුනක්.

Kiitos ☺

Comments

Popular posts from this blog

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä

සරත් සමයේ දිනෙක අත්තම්මා සමග ෆින්ලන්තයේ වනාන්තරයක බිම්මල් නෙලීම - Autumn Forest Diary in Finland Mushroom Picking with Grandma