ෆින්ලන්තයේ තරුපිරි අඳුරු අහස්කුස තුල නේක වර්ණයෙන් රඟදෙන අවුරෝරා එළි මංගල්‍ය කාලසීමාව ඇරඹෙයි - Revontulet - Whispers of Light in the Finnish Northern Night


ෆින්ලන්තයේ සරත් සමය ආරම්භ වී පසුවී ගොස් ඇත්තේ දින කීපයක් පමණයි.ඇත්ත වශයෙන්ම කියනවනම් තවමත් උත්තරාර්ධගෝලයට නිල වශයෙන් සරත් සමය උදාවෙලා නැහැ.ඒත් ෆින්ලන්තයේ මේ ඍතු විපර්‍යාසය නිල වශයෙන් වන්නට පෙරම පරිසරය සහ සතා සීපාවා ඒ වෙනසේ පෙරමං සලකුණු පෙන්වනවා.

ගිම්හානයේදී රත් වී තිබූ අවට වාතය දැන් දැන් සිසිල් බවක් දැනෙන අතර වනාන්තරවල ඇති වෘක්ෂලතාවන් සෙමෙන් සෙමෙන් ඔවුන්ගේ ගිම්හාන හරිත පත්‍ර රන්වන් පැහැයට හුවමාරු කර ගනිමින් සිටිනවා.ගිම්හානයේ වනවිට අතුරුදන් වී තිබූ ෆින්ලන්තයේ උතුරු තරු දිලිසෙන අඳුරු රාත්‍රීන් අවසානයේ නැවතත් උදාවෙමින් ඒ අඳුරු රාත්‍රීන් වර්ණවත් කරමින් පළමු අවුරෝරා බොරාලිස් ( Aurora borealis ) එළි කදම්බයන් , උත්තර ආලෝකයන් ( Nothern Lights ) නැතිනම් ඌශාලෝකය අහසේ රැඟුම්දෙන්නට පටන්ගෙන තිබෙනවා.

ෆින්ලන්තයේ ඈත උතුරේ සිටින බොහෝ දෙනෙක් ඊයේ රාත්‍රි අහසේ අවුරෝරාවන් දිලිසෙන ආකාරය දැක තිබුනත් , දකුණේ හෙල්සින්කි නුවර වෙසෙන මම මෙවර ඒ වාසනාවන්තයින් අතර සිටියේ නැහැ.අවුරෝරා සමය ආරම්භ වී ඇති බවට වූ පුවත් දැකීමෙන් මා සිත තුල ඇතිවූ සිතුවිල්ල මාව නිහඬ උද්යෝගයකින් පුරවන්නට සමත්වුනා.පසුගිය ශීත ඍතුවේ දී, සීතල රාත්‍රින් කිහිපයකම එලිමහනේ සිටගෙන අවුරෝරා එළි අහසේ මට ඉහළින් රැඟුම් දුන් ආකාරය බලා සිටි ආකාරය මට හොඳින් මතකයි. උත්තර ආලෝකයන් නැවත වරක් මා සොයා එනතෙක් මගේ ඒ බලාපොරොත්තුව ජීවමාන කිරීමට තරම් එම මතකය ප්‍රමාණවත්.

ෆිනිශ් භාෂාවෙන්, මේ අවුරෝරා එළි නොහොත් උතුරු ආලෝකයන් රෙවොන්තුලෙත් ( Revontulet ) ලෙස හඳුන්වනු ලබනවා.එහි තේරුම වන්නේ "හිවලාගේ ගින්න" වැනි අදහසක්. පුරාණ ෆින්ලන්ත ජනකතා වලට අනුව උතුරේ වෙසෙන ඉන්ද්‍රජාලික ආක්ටික් හිවලෙකු දිය ඇලි හරහා දිව යන විට ඌගේ වලිගය හිම මත ගැටී එයින් අහසට ගිනි පුපුරු ඉසෙන බවත්, එය හරිත ගින්නක් ලෙස අහස ආලෝකමත් කරන බවත් පැවසෙනවා.අද අපි මේ අවුරෝරා එළි පිටුපස ඇති විද්‍යාව දැන සිටියත්, එම ජීවමාන වර්ණ ආලෝක ධාරාවන් යට සිටගෙන සිටින විට එකී කල්පිත ජනකතාවන් තවමත් සත්‍ය ලෙස දැනෙනවා.

විද්‍යාත්මකව, අවුරෝරා යනු සූර්යයාගෙන් ලැබෙන තෑග්ගක්.නොපෙනෙන ශක්තියක් වන සූර්‍ය සුළං පෘථිවියට ළඟා වීමට පෙර හිස් අවකාශයේ කිලෝමීටර් මිලියන ගණනක් ගමන් කරනවා.අවසානයේ මෙම සූර්‍යයාගේ සිට පැමිණෙන ආරෝපිත අංශුන් අපගේ වායුගෝලයේ ඉහළින් ඇති වායූන් සමඟ ගැටී , ඉන් උපදින ආලෝකයෙන් අහස දිලිසෙන්නට පටන් ගන්නවා.එක් එක් වායූන් විවිධ වර්ණ ජනිත කිරීමට සමත්.

පිහිටා ඇති උන්නතාංශය අනුව ඔක්සිජන් වායුව වඩාත්ම පොදු හරිත ( කොළ ) වර්ණය සහ දුර්ලභ තද රතු පැහැයන් ලබා දෙන අතර නයිට්‍රජන් වායුව දම්, රෝස සහ නිල් පැහැයන් නිර්මාණය කරනවා.හයිඩ්‍රජන් සහ හීලියම් ද මෙලෙස වර්ණ රටා මවන නමුත් එම වායූන් වායුගෝලයේ ඉතා දුර්ලභ බැවින් ඒවායේ වර්ණයන් දැකගැනීම  කලාතුරකින් සිදුවන්නක්.කෙසේවෙතත් විවිධ රාත්‍රීන් හි විවිධ උන්නතාංශයන්හි මැවෙන මේ නෙක වර්ණ රටාවන් දකින ඕනෑම කෙනෙකුට රාත්‍රි අහසේ අඳුරු කැන්වසය මත චිත්‍රයක් අඳින නිහඬ චිත්‍ර ශිල්පියෙකු සිහිපත් වෙන බවට කිසිදු සැකයක් නැහැ.

සාමාන්‍යෙයෙන් අගෝස්තු අගසිට අප්‍රේල් මාසය දක්වා අවුරෝරා බොරාලිස් එළි කාලසීමාව ලෙස සැලකෙනවා.මේ කාලය ඇතුලත උතුරු ලප්ලන්තයේ දින 200 ක් පමණ රාත්‍රීන්හි අවුරෝරා එළි දැකගත හැකියි.පෘථිවියේ චුම්බක ක්ශේත්‍රය මේ සංසිද්ධිය හා කෙලින්ම බැඳී ඇති නිසා මේවා වඩාත් හොඳින් දිස්වන්නේ ධ්‍රැවාසන්න කලාපලවලටයි.දකුණේ හෙල්සින්කි නුවරටත් අවුරෝරා එළි දිස්වන දින නැතුවා නොවෙයි.නමුත් සීමිතයි.එසේ දිස්වන දිනට අහස්කුස වළාකුළින් බරව තිබ්බොත් එදිනටත් ඒ අපූරු දර්ශනය නෙත්මානයෙන් ගිලිහෙනවා.

පසුගිය වසරවල ශීත ඍතුවේදී, මම අවුරෝරා එළි අහසේ රැඟුම්දෙන අයුරු දුටු විට, මා අවට කාලය නතර වූවාක් මෙන් මට දැනුනා.හරිත පැහැති රළ ක්ෂිතිජය හරහා විහිදී, පසුව දිලිසෙන තරංග වලට කැඩී, ජීවමාන වූවාක් මෙන් නොයෙක් අතට නැමි නැමී එහාමෙහා මාරු වුනා.ටික වේලාවක් යනතෙක් මගේ අත්වල අස්ථිතෙක් කිඳාබැස ඇති ෆින්ලන්ත ශීත ඍතුවේ කටුක සීතල මට අමතක වී ඒ අඳුරු අවකාශය තුල සිටගෙන, සෙමින් හුස්ම ගනිමින්, මට ඉහළින් ඇති ඒ අපූරු සුන්දරත්වය නිහතමානී ලෙස රසවින්දා.

ෆින්ලන්ත වැසියන් ඔවුන්ගේ සම්ප්‍රදායන් අනුව සැමවිටම මෙකී උතුරු ආලෝකයන්ට ගෞරවයෙන් සැලකුවා. මිනිසුන් වරක් විශ්වාස කළේ අවුරෝරා එළි දිස්වන විට සිවුරුහන් කිරීම අවාසනාව ගෙන දිය හැකි බවයි.තවත් සමහරු සිතුවේ ආලෝකයන් සදාකාලික නර්තනයක යෙදී අහස හරහා ගමන් කරන, මියගිය අයගේ ආත්මයන් බවයි. ෆින්ලන්තයේ උතුරේ ඇති ලප්ලන්තයේ වෙසෙන සාමි ජනතාව අතර, මේ අවුරෝරා ආලෝකයන් ගෞරවයට පාත්‍ර විය යුතු ගින්නක් ලෙස සලකනු ලැබූ අතර ඔවුන් ඒවා කිසි විටෙකත් සමච්චල් කලේ නැහැ.දැන් පවා, අවුරෝරා එළි අහසේ ජීවමාන වන විට, බොහෝ ෆින්ලන්ත ජාතිකයන් තමන් ඉන්නා තැනම සිට විරාමයක් ගෙන ඒ දෙස බලමින් නිහඬ වන්නේ සොබාදහමම ඔවුනට කතා කරන ආකාරයට සවන් දෙන්නාක් මෙනි.

විද්‍යාව අවුරෝරා එළි ඇති වන ආකාරය පැහැදිලි කරන නමුත් ඉන් හදවතට දැනෙන දේ වර්ණවත් ආලෝක ධාරාවකට වඩා බොහෝ සෙයින් ප්‍රබල බන්ධනයක්.එය අප අපගේ තරුව වන සූර්යයාට, අවකාශයේ විශාලත්වයට සහ අපට වඩා විශාල අභිරහස් වලට කෙතරම් සමීපව සම්බන්ධ වී ඇත්ද යන්න මතක් කරන ගුප්ත කරුණක්.එමෙන්ම ජීවිතයේ අඳුරු කාලවලදී පවා, සොඳුරු අලංකාරය අප නොසිතන මොහොතක ජීවිතයට පැමින අපව පුදුම කිරීමට සූදානම් බවත් එය අපට උගන්වනවා.

ඉතින් දැන්, ෆින්ලන්තයේ අහස් කුස සරත් සමය වෙත ගැඹුරු වන අතර අඳුරු රාත්‍රීන් කෙමෙන් කෙමෙන් දිගු වන විට, මම  මගේ හදවතේ නිහඬ බලාපොරොත්තුවක් දරා සිටිනවා. එනම් අවුරෝරා එළි නැවත මා සොයා පැමිණෙනු ඇත යන්නයි.ඒවා පැමිණෙන විට, මම එකී මහාර්ඝ ආලෝක ධාරා සැණකෙළිය නැරඹීමට සූදානම් වන්නෙමි. සමහර විටෙක එය ලබන සතියේ හෝ සමහර විට මෙවර ශීත ඍතුවේ හදවතේ දිනක ආක්ටික් හිවලා නැවත වරක් උගේ වලිගය හිම මත අතුගා දමනු මොහොතේ මම එහි වර්ණවත් අසිරියෙන් වශීකෘතව , රෙවොන්තුලෙත් ඌෂාලෝකය යට සිටගෙන සිටින්නෙමි.

Kiitos ☺

Comments

Popular posts from this blog

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä

සරත් සමයේ දිනෙක අත්තම්මා සමග ෆින්ලන්තයේ වනාන්තරයක බිම්මල් නෙලීම - Autumn Forest Diary in Finland Mushroom Picking with Grandma