ගොවිගෙදරක සකස් වූ සාම්ප්‍රදායික ෆින්ලන්ත කෑම වේලක තතු විත්ති A Finnish Feast in a Village Farmhouse in Finland
එලිවන පාන්දරම කුකුළන් යන්තමින් තම පළමු හඬලෑම කර අවසන් කරන විටත් අප්පච්චි තමන්ගේ බූට්ස් සපත්තු පැලඳ සරත් සෘතුවේ පිනි වලින් තෙත් වූ මිදුලේ සිසිල් බිම මත හැපෙනසුළු ශබ්දයක් නගමින් ගවගාල වෙත ඇවිද ගොස් තිබුනි.අම්මා උදුන බර්ච් දරවලින් අඩු නැතිව පෝෂණය කරන අතරතුර මුළුතැන්ගෙය උණුසුම් පාන් සුවඳින් පිරී ගියේය.මම නිහඬව ඇඳෙන් නැගිට්ටෙමි.මන්ද පවුලේ වැඩිමහල් දරුවා ලෙස මම සැමවිටම අම්මාට උදව් කලයුතු පළමුවැන්නා වන බැවිනි.අප්පච්චි උණුසුම් කිරි භාජනයක් රැගෙන ගව ගාලෙන් ආපසු එන විට උදෑසන ආහාරය මේසය මත සූදානම්ව තිබුනි.
අපගේ නිවසේ කෑම මේසය කුඩා නමුත් එය බොහෝ ආහාර වේල්වලදී පිරී ඇති බවට අම්මා වගබලා ගත්තාය.ඊයේ දින පුලුස්සන ලද උණුසුමින් තවමත් තැම්බෙමින් පැවති අඳුරු රයි පාන් පෙති පිරුනු බඳුන අසලම බටර් දීසිය තබා තිබුනි.උදුන මත බුබුළු දමමින් තිබූ බාර්ලි කැඳ බඳුනෙන් අම්මා හැන්දකින් අපගේ භාජනවලට බාර්ලි කැඳ බෙදුවාය.පාන් මත තැවරීමට ලින්ගන්බෙරි ජෑම්ද තිබූ අතර පාන් අසලම අර්තාපල් වලින් සාදන ලද මෘදු පැතලි පාන් වර්ගයක් වන රියෙස්කා පිඟානක් තබා තිබූනි.එය අපගේ කුඩා නැගනිය වන අන්නා වඩාත්ම කැමති එක් කෑමකි.ඇය ඇගේ පාන්පෙති උණුසුම් කිරිවල ගිල්වා ආහාරයට ගත් අතර පාන් කැබලි කිරිවලින් බෙරිවී කඩා වැටෙන විට සුරතල් හඬින් සිනාසුනාය.
අප්පච්චි ප්‍රධාන ආහාරයෙන් පසු කළු කෝපි බොන අතර, අපි අනෙක් අය පෙණ සහිත සහ පැණිරස නැවුම් කිරි බිව්වෙමු.අද දින අපි වාසනාවන්ත වී තිබුනේ කිකිළියන් ත්‍යාගශීලී වී තිබූ බැවිනි.ඒ නිසා උදෑසන කෑම වේලට රළු ලුණු ඉසින ලද තම්බන ලද බිත්තරත් ඇතුලත්ව තිබුනි.අපගේ සහෝදරයා වන මත්ති , තමා බිත්තර තුනක් කනවා යැයි පුරසාරම් දෙඩූ නමුත් බිත්තර දෙකක් පමණක් කා තෘප්තිමත් සිනහවකින් පුටුවේ ඇන්දේ පිටුපසට හේත්තු වී ඔහුගේ උදෑසන ආහාරය නිමකලේය.
හිරු ඉහළට නැඟී කෙත්වල වැඩ අපට වෙහෙස මහන්සිය ගෙන දීමට පටන් ගන්නා විට, අපි දහවල් ආහාරය සූදානම් වන තෙක් බලා සිටියෙමු.නිවසින් පිටත වාතය සරත් සමයේ ඇද වැටුණු පත්‍රවල සුවඳින් සුවඳවත් වන අතර, පාත්තයින් ශීත කාලයට පෙර උණුසුම් දේශයක් කරා ගමන් කරන හඬ නිරන්තරයෙන් අහසේ ඇසුනි.අම්මා උදෑසන මුළුල්ලේම කාර්යබහුල වී, මුළුතැන්ගෙය දිවා ආහාරය සඳහා සැනසිලිදායක ස්ථානයක් බවට පත් කර තිබුනාය.
අද අපගේ දිවා ආහාරය ක්‍රීම් රසැති සැමන් සුප් පිරුනු බඳුනකින් ඇරඹුනි.සැමන්වලට අමතරව සුප් බඳුනේ , අම්මා අපේ ගෙවත්තෙන් උදුරාගෙන තම්බාගත් අර්තාපල්, කැරට් කැබලි ඩිල් වලින් සරසා පොහොසත්ව හා රසවත්ව සකස් කර තිබුනි. ඒ සමඟ බටර් දැමූ කුඩා අර්තාපල් සහ තියුණු, ඇඹුල් රසයෙන් යුක්ත අච්චාරු දමන ලද පිපිඤ්ඤා ද තවත් භාජන දෙකක් පුරවා මේසය මත තිබුනේය.
තවමත් පිදුරු සුවඳ හැමූ ඇඳුම් ඇඳි මත්ති , ගබඩාවේ සිට දුවගෙන විත් උගුරට දෙකට ඔහුගේ සුප් එක ගිල දමන තරම් කුසගින්නෙන් පෙලෙන අතරතුර අප්පච්චි ඔහුට ගිලීමට පෙර සැමන් සහ කැරට් කැබැලි හපන ලෙසද මතක් කර සිටියේය. කෑම මේසය මත පසුගිය සතියේ උඳුන තුල පුලුස්සන ලද මාළු සහ ඌරු මස් කැබලි වලින් පිරුණු ඝන රයි රොටියක් වන කලකුක්කෝ එකක් ද තබා තිබුනි.අප්පච්චි ත්‍යාගශීලී ලෙස එය පෙති වලට කපන තුරේ එයින් හැමූ සුවඳ අප සියල්ලන්ම එය සමීපයට නැඹුරු කලේය.ආහාර වේලට පැණි රස එකතු කිරීම සඳහා, අම්මා එනසාල් සුවඳැති සීනි ඉසින ලද මෘදු පුල්ලා රෝල්ස් උදුනෙන් එළියට ගෙන මේසයට ගෙන ආවාය.අපි පසුගිය ගිම්හානයේ නෙලාගත් බිල්බෙරි වලින් තැනූ බෙරි යුෂ සහ සිසිල් බටර් මිල්ක් ද පානය කලෙමු.රාත්‍රී ආහාරය සඳහා බඩේ ඉඩ තබාගන්නා ලෙස අම්මා මෘදු ලෙස අනතුරු අඟවන තුරුම අන්නා ඇගේ කම්මුල් පුල්ලා වලින් පුරවාගෙන අම්මාගේ කතාබහ අමතක කරමින් හැසිරුනාය.
සවස් කාලය පැමිනෙන විට කෙත්වතු කෙමෙන් කෙමෙන් නිහඬ වෙමින් පැවතිනි.බර්ච් ගස් ඒවායේ අතු අග්ගිසි සිට කහ පැහැයට හැරෙමින් පවතින අතර, අම්මා දවසේ බරම ආහාර වේල පිළියෙළ කරන විට නැගෙන දුම් රැලි මුළුතැන්ගෙයි චිමිනියෙන් පිටවෙනු දක්නට ලැබුනි.රාත්‍රී ආහාරය සැමවිටම පවුලේ සියල්ලෝම නිවසේ කෑම මේසය වටා රැස්වන කාලයකි.එහිදී පවසන කතන්දර දිගු වන අතර එවිට මේසය මත තබා ඇති ආහාර වඩාත් රසවත් බවින් පොහොසත් වේ.
අද රාත්‍රියේ ඇය ඌරු මස් සහ බාර්ලි සමඟ සකසන ලද උණුසුම් ගෝවා ඉස්ටුවක් වූ කාලිලාතික්කෝ මේසය මත පිලිගන්වා තිබුනි.එහි සුවඳින් මුළු කාමරයම සුවඳවත් විය.ඒ අසල බටර් වලින් ඔප දමා බදින ලද ටර්නිප්ස් සහ කැරට් ද ක්‍රීම් සමග පොඩි කළ අර්තාපල් වලින් පිරුණු උඳුනක බේක් කළ රයි පයි තැටියක්ද ඇත. කෑමට පෙර අපි දරුවන් ක්ලවුඩ්බෙරි වලින් සාදන ලද උණුසුම් බෙරි යුෂ පානය කරන අතරතුර, අප්පච්චි නිවසේදීම ඔහු විසින් සෑදූ බියර් පිරවූ ජෝගුවක් අතට ගත්තේය.හැම් සමග උදේ සිට තම්බා ගත් ඝන පී සුප් බඳුනක් ද හෘදයාංගම ලෙස පුරවා මේසය මත තබා තිබුනි.
ප්‍රධාන කෑමට පස්සේ අන්නා දවස පුරාම බලාගෙන හිටපු අතුරුපස මේසයට ආවේය.අම්මා රන්වන් ක්ලවුඩ්බෙරි ජෑම් සහ ක්‍රීම් බිඳුවක් දමා දාර දුඹුරු පාට වනතෙක් පුලුස්සන ලද තුනී උඳුන් පෑන්කේක් ලිපෙන් එළියට ගෙන මේසයට පිලිගැන්වූවාය.මත්තී ලොකුම පෑන් කේක් එක සොරකම් කරන්න හදන විට මම ඔහුට මතක් කලේ කෑදර පිරිමි ළමයින්ට දඬුවම් කරන වනාන්තර ආත්මයන් පිළිබඳ කතාවක් ගැනයි.ඔහු එයට සිනාසෙන නමුත් තවමත් ඔහුට විශාල කෑල්ල ලබා ගත හැකි වන පරිදි අන්නා සමඟ පෑන්කේක් හුවමාරු කරගන්නට වගබලා ගත්තේය.
රාත්‍රී ආහාරයෙන් පසු, කිසිවෙකු මේසයෙන් පිටව යාමට ඉක්මන් නොවුනි.අප්පච්චි පුටුවේ පිටුපසට හේත්තු වී ඔහුගේ බර දෑත් මේසය මත රැඳෙන ආකාරයෙන් මොහොතක් ගතකරයි.ඒ අතරතුර අම්මා දවස පුරා පැලඳ සිටි ඇගේ ඒප්‍රොන් එක ගලවා නවා තැබුවාය.මත්ති ජනේලයෙන් පිටත බලාගෙන, කෙත්වතු වලින් ඔබ්බට ලෝකය ගැන සිහින දකිමින් සිටින අතරේ අන්නා මට උණුසුම්ව ගුලි වී තවත් කතාවක් පවසන ලෙස ඉල්ලන්නීය.
දවස පුරා උඳුනේ දැල්වුනු ගින්න නිවෙන නමුත් එමගින් තවමත් නිවස ඇතුලත උණුසුම් වන්නේය.අපගේ ආහාර ධාන්‍ය වර්ග, අලවර්ග සහ මාළු සහ මස් වලින් සෑදු සරල කෑම වුවත්, ඒවා එකට බෙදාගත් විට එය ආහාර මංගල්‍යයක් වගේ දැනෙන්නේය.සෑම ආහාරයක්ම ඒ සමග කෙත්, වනාන්තර, විල් සහ නිමක් නැතිව වැඩ කරන අපේ අත් හා බැඳුණු අපේ භූමියේ කතාවක් රැගෙන යන්නේය.ඉතින්, ගමේ තවත් සරත් දිනයක් අවසන් වන්නේ පිරුණු කුසකින් යුක්තව නිහඬ සාමයක් සමග නිවසේ සියල්ලෝම නින්දට යන විටයි.
Kiitos ☺
සටහන - අද දිනසටහනෙන් ලියා ඇත්තේ කලකට පෙර විසූ සාම්ප්‍රදායික ෆින්ලන්ත ගොවි පවුලක සාමාන්‍ය දිනයක ආහාර වේල සකස් වූ ආකාරය ගැනයි.උත්සව අවස්ථාවලදී මෙයට වඩා වෙනස් ආහාර සකස් වෙන්නට හැකියි.වර්තමානය වනවිට මේ ආකාරයෙන්ම නැතත් ෆින්ලන්ත නිවෙස්වල සකස් කරන ආහාර වේලවල් බොහෝවිට මෙවෑනි සරලව සකස්කල ආහාර කිහිපයකින් පිලිගැන්වීම සිදුකෙරෙනවා.

Comments
Post a Comment