සරත් සමයේ දිනෙක අත්තම්මා සමග ෆින්ලන්තයේ වනාන්තරයක බිම්මල් නෙලීම - Autumn Forest Diary in Finland Mushroom Picking with Grandma


 අද උදේ අවට පරිසරයේ වාතය නැවුම්ව තිබුණේය. අපේ ගොවිපොළට සරත් සමය උදාවෙමින් තිබූ නිසා බර්ච් (Koivu) ගස් කහ පැහැයට හැරෙමින් තිබුණ අතර අප්පච්චි විසින් අස්වැන්න නෙළූ රයි කෙතේ තෙත් පොළොවේ සුවඳ අවට හමමින් තිබුනි."අද අපි වනාන්තරයට යනවා. අපි එනකල් බිම්මල් බලාගෙන ඉන්නවා ඇති." අත්‍තම්මා ඇගේ සාළුව ඇගේ උරවටා බැඳගෙන පැවසුවාය.

මම මගේ සටහන් පොත රැගෙන ඇය පසුපස ගියෙමි.මොකද ඒ අපි කරන දේ සටහන් කරගන්න මම කැමති නිසාවෙනි.මගේ සහෝදරයා මත්ති ඇතුළු අපි ලමුන් තිදෙනාම අම්මා විසින් වියන ලද කුඩා කූඩ අතින් රැගෙන ගිය අතර කුඩා නැගණිය අන්නා ඇගේ රතු ස්කාෆ් එකත් හිසේ බැඳගෙන සුළඟේ පියාසර කරනවා මෙන් දිවගෙන ආවාය.අත්තම්මා සෙමින් ඉදිරියට ඇවිද ගිය නමුත් ඇයත් එක්ක මේ යන්නේ හරියටම කොහෙද යන්න අපි තාමත් දන්නේ නැහැ.

අපි නිවස පිටුපස වනාන්තරයට පිය නැගුවෙමු.උදෑසන වුනත් වනාන්තරය ගුප්ත ලෙස නිහඬ වූ අතර අපට ඇසුණේ පාසි මත ගැටුනු අපේ සපත්තු වල හඬ සහ කවුරුන්හෝ පයින් ගසකට ලී කුට්ටියකින් තට්ටු කරන ශබ්දයක් පමණයි. බිම මෘදු හා හරිත පැහැ වූ අතර ඒ මත රන් කාසි මෙන් විසිරී වැටුණු අවට ගස්වල පත්‍ර තිබුණි.රතු ලේනෙකු මාර්ගය හරහා පනිනවා දුටු අන්නා සිනාසෙමින් ඌ පසුපස දිවගියාය.

ඉක්මනින්ම අත්තම්මා නතර වුණි. "මේ බලන්න," ඇය මුමුණමින් පැවසුවාය.දීප්තිමත් කහ පැහැති චැන්ටරෙල් (kantarelli) බිම්මල් ස්පෘස් ගසක් යට පොකුරක් ලෙස වර්ධනය වී තිබුන අතර ඒවා කුඩා හොරණෑ මෙන් බැබළුණි. "මේවා ආරක්ෂිතයි වගේම සහ කෑමට හොඳයි," ඇය පැවසුවාය. "අපි අද රෑ ක්‍රීම් චැන්ටරෙල් සෝස් හදමු. සමහරවිට චැන්ටරෙල් හතු පයි එකක් වුනත් කමක් නැහැ" අත්තම්මා එකතු කලාය.අන්නා උනන්දුවෙන් ඒවා එකින් එක තෝරා නෙලා ගත්තාය.

තව ටිකක් ඉදිරියට ගිය මත්තී කෑ ගැසුවේය.ඔහුට ඝන කඳක් සහ දුඹුරු පැහැති තොප්පියක් සහිත මහත බිම්මල් වර්ගයක් වූ පෝර්සිනි (herkkutatti) බිම්මලක් හමු වී තිබුනි.අත්තම්මා ආඩම්බරයෙන් හිස වැනුවා. "මේ බිම්මල් වල රජා.අපිට ශීත කාලය සඳහා මේවා පෙති කපා වියළා ගත හැකියි. පසුව අපි තත්තිකෙයිත්තෝ කියන පෝර්සිනි සුප් උයමු." මත්තී එය නිධානයක් මෙන් රැගෙන ඔහුගේ කූඩයට දමා ගත්තේය.

මට කුඩා හෙජ්ජෝග් බිම්මල් (orakas) ගොන්නක් හමු විය. ඒවායේ යටි පැත්තේ දාර වෙනුවට මෘදු කටු තිබුණි. "මේවාත් හොඳයි. අපි ඒවා බටර්වල බැදලා පාන් මත තබාගෙන කනවා.ඒකට කියන්නේ ඔරකාස්වොයිලෙයිපා කියලා.ඒවා රසයි." අත්තම්මා පැවසුවාය.මම ඒවා පරිස්සමින් මගේ කඩා කූඩයට දමා ගත්තෙමි.

ආච්චි අපට මිල්ක් කැප්ස් (rousku) බිම්මල් ද පෙන්නුවාය. "මේවා සමහරක් කටුකයි, නමුත් ලුණු දැමූ පසු රසවත්. ෆින්ලන්ත ජාතිකයන් ශීත ඍතුවේ දී අර්තාපල් සමඟ කෑමට සුඕලතුත් රවුස්කුත් නම් ලුණු දැමූ මිල්ක් කැප්ස් හදනවා." අන්නා ඇගේ නාසය රැළි ගැසූ නමුත් මත්තී ඔහුට ඒ ආහාරය රසබලා උත්සාහ කිරීමට අවශ්‍ය බව පැවසුවේය.

නමුත් වනාන්තරයේ ඇති සියලුම බිම්මල් කෑමට ආරක්ෂිත නොවේ. අත්තම්මා බර්ච් ගසක් අසල නැමී එහි තිබූ පිරිසිදු සුදු බිම්මල් වර්ගයක් අපට පෙන්වූවාය.“මේ ඩිස්ට්‍රෝයින් ඒන්ජල් (valkokärpässieni). මේවා ඉතා ලස්සන නමුත් මාරාන්තිකයි. එක කටක් කෑවොත් මැරෙන්න පුළුවන්.” ඇය කීවාය.අපි හැමෝම  බියෙන් පසුපසට සහ ඉන් ඈතට ගියෙමු.

ඊට පස්සේ ඇය සුදු තිත් සහිත රතු තොප්පියක් සහිත බිම්මල් වර්ගයක් පෙන්නුවාය.“මේ ෆ්ලයි අගාරික් (punakärpässieni). මේවා සුරංගනා කතාවල වගේ පේන නමුත් විෂ සහිතයි. කවදාවත් අල්ලන්න එපා.”අත්තම්මා කී විට “ඒක කුරුමිට්ටෙකුගේ කුඩයක් වගේ.” යැයි අන්නා පැවසුවාය.

අපි රැලි වැටුණු දුඹුරු බිම්මල්ද දැක්කෙමු. “ඒවා ෆෝල්ස් මොරල් (korvasieni) අමුවෙන් කෑවොත් ඒකෙන් මැරෙන්න පුළුවන්. සමහර අය ඒක දෙපාරක් තම්බනවා, නමුත් මම ඒක නෙලන්නේ නැතිව වනාන්තරයේම තියන්න කැමතියි.” අත්තම්මා පැවසුවාය.

ඔබමොබ ඇවිද වෙහෙසට පත්වූ අපි මදක් විවේක ගනිමින් සිටියදී, අත්තම්මා ෆින්ලන්ත වනාන්තරයේ වෙනත් අනතුරු ගැනද අපට කිව්වාය. “මෙහි ඉන්නේ එක් විෂ සහිත සර්පයෙක් පමණයි, ඇඩර් (kyy). උගේ දෂ්ඨනය වේදනාකාරීයි, නමුත් බොහෝ අය නිසි ප්‍රතිකාර ලැබුවාම සුවය ලබනවා. තවමත්, අව්ව සහිත එළිමහන් තැන්වල අපි  ප්‍රවේශම් විය යුතුයි.” මත්තී කලබලයෙන් වටපිට බැලු නමුත් අත්තම්මා සිනාසුණාය."උන් ලැජ්ජාශීලී සත්තු.”

ඇය කිනිතුල්ලන් (puutiainen) ගැනත් අපට අනතුරු ඇඟෙව්වා. “උන් කුඩා නමුත් භයානකයි. උන් කෑවාම ලයිම් රෝගය හෝ මොළයේ උණ ඇති විය හැකියි. වනාන්තරයට ගිහිල්ලා ආවාට පස්සේ සෑම විටම ඔබේ සම පරීක්ෂා කල යුතුයි.” අන්නා මී මැස්සන් සහ බඹරුන් ගැන ඇසුවාය.“ඔව්,උන්ගේ දෂ්ට කිරීම. සමහර අයට ඉතා බරපතලයි. නමුත් උන් අපට මී පැණි ලබා දෙන අතර අපගේ මල් වලටද උදව් කරනවා.” අත්තම්මා වැඩිදුරටත් කීවාය.

අපි නැවතත් ඇවිදිමින් විලට ළඟා වූ විට, එහි ජලය නිශ්චලව තිබුණි. සිහින් මීදුමක් ඊට ඉහළින් පාවී ගියේය. “ගිම්හානයේදී, නිල්-කොළ ඇල්ගී ( sinilevä ) වලින් පරිස්සම් වන්න. ඒවායින් ජලය කොළ පැහැයට හැරවීමට සහ පෙන බවට පත් කරනවා.ඒවා විෂ සහිතයි. ඒවායෙන් මිනිසුන්ට සහ සතුන්ට ඉතා අසනීප විය හැකියි.” අත්තම්මා කීවත් අපගේ විලේ ජලය ඉතා පැහැදිලි වීම ගැන අපි සතුටු වුණෙමු.

නැවත ගෙදර යන අතරමගදීද , අප අත තිබූ කූඩ නෙලාගත් බිම්මල් ගොන්නෙන් බර විය. කූඩවල අපට හමුවූ චැන්ටරෙල්, පෝර්සිනි, හෙජ්ජෝග් සහ හොඳ මිල්ක් කැප්ස් පිරී තිබුණි.බර්ච් ගස් හරහා හිරු බැස ගොස් අවට පරිසරයේ සියල්ල රන්වන් පැහැයට හැරෙමින් තිබූ අතර අපට වාතයේ සරත් සෘතුවේ සුවඳ දැනුනි.

අපගේ ගොවිපල නිවසට ආපසු පැමිණි අත්තම්මා , අම්මා සමග එක්ව මුළුතැන්ගෙයි මේසය මත අප නෙලාගත් බිම්මල් ඇතිරුවාය.ඔවුන් කන්තරෙලිකාස්ටික් සුප් සෑදීම සඳහා චැන්ටරෙල් පිරිසිදු කළ අතර පෝර්සිනි වියළීම සඳහා පෙති කපන ලදී.පසුව අපට ඒකෙන් තත්තිකෙයිත්‍තෝ හදන්න පුළුවන්. ඇය මිල්ක් කැප්ස් වලට ලුණු දැමුවාය.එමෙන්ම පාන් සඳහා බටර් වල බැදීමට හෙජ්ජෝග් පසෙකට කර තැබුවාය.

මුළුතැන්ගෙය පුරා උණුසුම් හා පොහොසත් සුවඳක් දැනුනි.අම්මා සකස්කල පසු අපි බිම්මල් සුප් සමඟ රයි පාන් කෑවෙමු.එහි රසය පිරිසිදු සරත් සමය සිහිපත් කලේය."මට හැමදාම බිම්මල් කන්න ඕන." මත්තී කීව් විට අන්නා සිනාසුන අතර එවිට ඇගේ කම්මුලේ බටර් බිඳක් තැවරී ඇති ආකාරය මම දුටිමි.

අද රෑ, මම මගේ දිනපොතේ මෙසේ ලියන්නෙමි.වනාන්තරයේ අනතුරු මෙන්ම තෑගිත් බොහෝ ඇත්තේය.අද අපි අත්තම්මාගෙන් විෂ සහිත බිම්මල් , සර්පයන්, කිනිතුල්ලන්, බඹරුන් සහ විල්වල ඇල්ගී ගැන පවා ඉගෙන ගත්තෙමු.නමුත් අපි අපේ කූඩ හොඳ බිම්මල් වලින් පුරවා ගත්තේ අත්තම්මා කියන පරිදි දැනුම බියට වඩා ශක්තිමත් නිසාවෙනි.දවසක, ඇය අපට උගැන්වූ ආකාරයටම මම මගේම දරුවන්ට වනාන්තරයේ විපත් ගැන මෙන්ම නිධන් ගැනද නිසි ආකාරයෙන් උගන්වන්නෙමි.

Kiitos ☺

Comments

Popular posts from this blog

රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside

ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä