ෆින්ලන්ත ස්වභාව දිනයේදී තරු පිරි අහස යට රැයක් - Sleeping Under the Stars on Finnish Nature Day Suomen luonnon päivä
ඊයේ දිනයේ ෆින්ලන්ත ස්වභාව දිනය - Finnish Nature Day හෙවත් Suomen luonnon päivä සමරනු ලැබුවා.2013 වසරේ සිට සෑම වසරකම අගෝස්තු මාසයේ අවසාන සෙනසුරාදා එය සමරනු ලබනවා.ෆින්ලන්තය ස්වාධීන රාජ්‍යයක් වී වසර සියයක් ගත වූ 2017 වසරේ සිට එය නිල ධජ දිනයක් ද වන අතර, ස්වභාවධර්මයට ගෞරවයක් වශයෙන් රට පුරා නිල්-සුදු වර්ණයෙන් යුත් ෆින්ලන්ත ධජය ආඩම්බරයෙන් ඔසවනු ලබනවා.වනාන්තර, විල් සහ පිරිසිදු වාතය සඳහා කැප වූ මෙවැනි ධජ දිනයක් ලොවේ වෙනත් කොතැනකවත් නැහැ.එයම ස්වභාවධර්මය ෆින්ලන්ත අනන්‍යතාවයට කෙතරම් ගැඹුරින් බැඳී ඇත්දැයි පෙන්නුම් කරනවා.
ෆින්ලන්තය බොහෝ විට "විල් දහසේ දේශය - Land of Thousand Lakes" යන අන්වර්ථ නාමයෙන් ලොව පුරා හැඳින්වෙන නමුත් සත්‍ය වශයෙන්ම, ෆින්ලන්තයේ විල් 180,000 ක් පමණ තිබෙනවා.සෑම ගමකම, ලොකු හෝ කුඩා නගරයකටම ආසන්නයේ විල් ජලය සුලබ දසුනක්.ෆින්ලන්තයේ බොහෝ පවුල්වලට විලක් අසල ලීයෙන් තැනූ කුඩා කුටියක් ඇති අතර, ඔවුන් සති අන්ත සහ නිවාඩු එහි ගත කරනවා.
මෙහි වාතය ලෝකයේ පිරිසිදුම වාතය ඇති ස්ථාන අතර ඉහලින් වැජඹෙනවා.ජලය කෙතරම් පිරිසිදුද යත්, ඔබට ෆින්ලන්තයේ ඕනෑම ජලකරාමයකින් , ( වැසිකිලියක පවා ඇති ) බය නැතිව ඔබේ බෝතලයට වතුර පුරවාගත හැකියි. රටේ 75% ක් පමණ වනගහනයෙන් වැසී ඇති අතර ස්පර්ශ නොකළ සොබාදහමට ෆින්ලන්ත ජීවිතයේ ඇති මෙම සමීපත්වය ලොවේ වෙනත් තැනක සොයා ගැනීමට අපහසු සාමකාමී රිද්මයක් ලබා දෙනවා.
ෆින්ලන්ත ස්වභාව දිනයේදී, මිනිසුන් ජාතික වනෝද්‍යානවල ඇවිදීම , බෙරි එකතු කිරීම ,හතු නෙලීම හෝ නැතිනම් මේ කිසිවක් නොකර වනාන්තරයේ නිශ්ශබ්දතාවය භුක්ති විඳිම හෝ සිදුකරනවා.දරුවන් ගල් කඳු මත ඇති පාසි සමග සෙල්ලම් කරන අතරතුර ආච්චිලා සීයලා උණුසුම් කෝපි කෝප්පයක් අතැතිව බංකුවල වාඩි වී සිටිනවා.සමහර පවුල් එලිමහනේ විවෘත ගිනි උදුන් මත සොසේජස් ග්‍රිල් කරනවා.මේවා කුඩා සම්ප්‍රදායන් වන නමුත් ඒවා ස්වභාව දහම විඳීම පිලිබඳ ගැඹුරු අර්ථයක් දරනවා.
මෙදින කෙරෙන නූතන සම්ප්‍රදායක් නම් එළිමහනේ නිදා ගැනීමයි. පවුලේ ගෙඋයනේ නිදන බෑග් අතුරා හෝ මිතුරන් කල්ලි ගස් අතර එල්ලූ හැමොක් වල රාත්‍රියේ නින්දට යනවා.වෙනත් සමහර අය කූඩාරම් රැගෙන ජාතික වනෝද්‍යාන වෙත පියමන් කරනවා.පොලොවට ආසන්නව තරු පිරි අහස යට හෝ උතුරු අහසේ මෘදු දීප්තිය යටතේ රාත්‍රියක් ගත කිරීම මෙහි අදහසයි. සමහර ප්‍රජාවන් "එකට එළිමහනේ නිදාගන්නා - Sleep together outside" අවස්ථා පවා සංවිධානය කරනවා.එහිදී සියලුම වයස්වල පුද්ගලයින් ආරක්ෂිත, ප්‍රීතිමත් වාතාවරණයක එකට එක්ව කඳවුරු බැඳ ගැනීම සිදුකරනවා.
ෆින්ලන්තයේ සොබාදහමට ගරු කිරීම එදිනෙදා ජීවිතයේද දැකිය හැකියි.කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය හැකි හැම විටම සිදුකරන අතර, බොහෝ ෆින්ලන්ත ජාතිකයින් රිය පැදවීම වෙනුවට බයිසිකල් පැදීම හෝ ඇවිදීමට පෙලඹෙනවා. “සෑම අයෙකුගේම අයිතිය - Everyones right” මගින් ඕනෑම කෙනෙකුට වනාන්තරවල සැරිසැරීමට, විල්වල පිහිනීමට සහ පරිසරයට බාධාවක් හෝ හානියක් නොකරන තාක් කල් ඕනෑම තැනක කඳවුරු බැඳ ගැනීමට ඉඩ සලසා දී තිබෙනවා.මෙම අයිතිය පරිසරය තුල තමාගේ කිසිදු කෘතිම සලකුණක් ඉතිරි නොකිරීම සහ වනයේ සියුම් සමතුලිතතාවය ආරක්ෂා කිරීම යන වගකීම සමඟ ද පැමිණෙනවා.
ඉතින් මේ ෆින්ලන්තයේ ස්වභාව දිනයේදී, ෆින්ලන්තය නිහඬව නමුත් ආඩම්බරයෙන් තම ස්වභාව සෞන්දර්‍යය සමරනවා.සුළඟේ ධජ ලෙළදෙන අතරතුර මිනිසුන් පිරිසිදු ජලය, පිරිසිදු වාතය, නිමක් නැති වනාන්තර සමග සමහර විට විවෘත අහස යට නිදන රාත්‍රියක් පවා භුක්ති විඳිනවා.
Kiitos ☺
කතු සටහන - මෙහි පලවන්නේ Helsinki Diaries - හෙල්සින්කි දිනපොත FB පිටුවේ පලවන දින සටහන්මයි.මුහුණු පොතේ නොමැති අයගේ පහසුව වෙනුවෙන් මෙය නිර්මානය කරන්නට තීරණය කලා.

Comments
Post a Comment