රසයෙන් මෙන්ම සුවඳින්ද අගතැන්පත් වූ ෆින්ලන්තයේ පලානෙලීම - A Basket of Green Wild Herbs from the Finnish Countryside
අද දින උදෑසන අපි නිවසින් එළියට බසිනවිටත් මීදුම කෙත්වලට ඉහළින් පාවෙමින් තිබුනි.තෙත් පිදුරු සුවඳ සහ මංතීරුව දිගේ ඉදෙමින් තිබූ රෝවන් බෙරි වල සියුම් මිහිරි සුවඳ සමඟ වාතය බර වී ඇති බවක් දැනුනි.ෆින්ලන්තයේ කෙටි ගිම්හානය නිමවී සරත් සමය දෙසට නැඹුරුවන කාලය මෙය බව අම්මා පැවසුවාය.මේ කාලයට අපි සෙමින් ඇවිදින අතරතුර හොඳින් ඇස් ඇර බලන්නේ නම් වනාන්තරය සහ කෙත්වතු එහි පොහොසත්ම තෑගි අපහට ලබාදීමට සැදීපැහැදී සිටින බව ඕනෑම කෙනෙකුට දැකගත හැකියි.
අප අද අම්මා සමග මේ යන්නේ අපගේ ආහාරයට අවශ්‍ය පලා නෙලීමටයි.මම අම්මා විසින් නිවසේදී බර්ච් පොතු මගින් වියා සාදන ලද කූඩයක් රැගෙන ගිය අතර, මගේ කුඩා නැගණිය අන්නා ඇගේ ගොතන ලද කොණ්ඩ කරල් පද්දමින් මා අසලින් ඉදිරියට ඇදුනාය.අම්මා ඇගේ ස්කාෆ් ලේන්සුව ඇගේ නිකට යටින් පිළිවෙලට බැඳගෙන අප සමග ආ අතර මං පෙත අවට උස් තණකොළ මත පිනි බිඳු උදෑසන හිරු එලියෙන් දිලිසෙමින් තිබුනි.හිරු, මීදුම හරහා දැල්වෙන එළි පන්දමක් මෙන් තණබිම රන් හා රිදී පැහැයෙන් වර්ණවත් ලෙස පින්තාරු කළේය.
අපි අපගේ ගොවිපලේ පිහිටි නිවස පිටුපස බර්ච් වනාන්තරයට යන මග ඔස්සේ පියනැගුවෙමු.බර්ච් ගස්වල පත්‍ර දාර සුදුමැලි වීමට පටන් ගෙන තිබුනේ ඉදිරියේදී එන සීතල රාත්‍රීන් ගැන රහස් මුමුණන්නාක් මෙනි. අම්මා කොළ පැහැති තණබිස්සක් අසල දණ ගසා අපට ඇය සමීපයට එනමෙන් ඇමතුවාය. "මේ තියෙන්නෙ ගොවුට්වීඩ් (Goutweed)," ඇය සියුම් පත්‍ර ඔසවමින් පැවසුවාය.
නැවුම් හා මෘදු සුවඳක් ඇති තරුණ පත්‍ර ඇය අපට පෙන්නුවාය. “ඒවා කුඩා කාලයේදී සලාද සඳහා හෝ පාන් සෑදීමේදී පිටි ගුලියට මිශ්‍ර කිරීමට පවා සුදුසුයි. නමුත් අපි ප්‍රවේශම් වෙන්න ඕන,දන්නා පැලෑටි පමණක් තෝරා ගන්න.” අම්මා පැවසුවාය.මම ඒ පත්‍රයේ හැඩය මගේ ඇඟිල්ලෙන් අතගා මතකයේ තබා ගැනීමට උත්සාහ කළෙමි.නමුත් අන්නා ඕනෑවට වඩා උනන්දුවෙන්, වහාම පත්‍රයක් කඩා රස බැලීමට සැරසුනු නමුත් අම්මා සිනාසෙමින් ඇයට කීවේ අපි එය නිවසේදී සකස් කරන තුරු ඉන්න කියායි.
අපි තව ටිකක් ඉදිරියට ගිය විට, නෙට්ල්ස් ( nettles ) උසට හා තියුණු ලෙස වැඩී, කෙතේ මායිම ආරක්ෂා කරමින් තිබෙනු දැකගත හැකිවිය.අම්මා ඇගේ අත්වැසුම් පැළඳගෙන ඇය අත තිබූ කතුරෙන් ඉන් අතලොස්සක් කපා කූඩයට දමාගත්තාය.අත්වැසුම් නොමැතිව ස්පර්ශ කළ විට නෙට්ල්ස් මගින් සම දරුණු ලෙස කැසීමට හේතුවන ආකාරය ඇය පැහැදිලි කළාය.
නමුත් තම්බාගත් පසු ඒවා මෘදු හා සමට ආරක්ෂිත වන අතර එහි ඇති යකඩ අපගේ රුධිරයට හොඳ බවද ඈ වැඩිදුරටත් කීවාය. ඇය තරුණ ගැහැණු ළමයෙකුව සිටියදී ඇගේ මව එනම් අපේ අත්තම්මා ඇයට ඉගැන්වූ ආකාරයට , සවස් වරුවේ නෙට්ල්ස් සුප් සෑදීමට ඇය පොරොන්දු වූවාය.අන්නා ඇගේ නාසය රැලි කළ නමුත් බටර් දැමූ රයි පාන් සමඟ නෙට්ල්ස් සුප්හි පොහොසත් රසය මට දැනටමත් සිතාගත හැකි විය.
වනපෙතින් ඔබ්බෙහි වූ එළිපෙහෙළි කරන ලද බිමේදී අපට දීප්තිමත් කහ පැහැති ඩැන්ඩෙලියන් යායක් හමු විය.මේවනවිට බොහෝ ඒවා බීජ බවට පත් වී තිබුණත් තවමත් සමහර පැලෑටි ආඩම්බරයෙන් සිටගෙන සිටියේය. තරුණ පත්‍ර කටුක නමුත් නැවුම් රසයක් ඇති ආකාරය අම්මා අපට පෙන්වා දුන්නාය.
එය ශරීරයට ඖෂධයක් බවද ඩැන්ඩෙලියන් මල් පොහොට්ටු වලින් අච්චාරු පවා දැමිය හැකි බවත්, මල් ඇම්බර් මෙන් දිලිසෙන මිහිරි සිරප් බවට එනතෙක් තම්බා ගත හැකි බවත් ඇය අපට පැවසුවාය. අන්නා ඒවායින් කිහිපයක් කඩාගෙන මල් කළඹක් තැනූ අතර ඇගේ ඇඟිලි ඩැන්ඩෙලියන් නටුවලින් වෑහුනු කිරි යුෂ සමඟ ඇලෙන සුළු බවට පත්විය.
රතු ක්ලෝවර් ( Red clover ) සහ දම් සහ කහ පැහැති මුහුණු සහිත කුඩා මල් වර්ගයක් වූ වියෝලා ත්‍රිවර්ණ ( Viola Tricolor ) එකට පිපී තිබූ තණකොළවලින් ගැවසීගත් ඇළ ඉවුර දිගේ අපි ඉදිරියට ගියෙමු. ඒ මල් මගින් සලාදයක් පැණි රස කළ හැකි ආකාරය සහ පත්‍ර මගින් සුප් වලට මෘදු, මී පැණි වැනි රසයක් ලබා දෙන ආකාරය අප දෙදෙනාට පැහැදිලි කරමින් අම්මා ක්ලෝවර් මලක් කඩා ගත්තාය. සැරසිලි රසවත් කිරීම සඳහා දැමිය හැකි බව හෝ ඒවායේ දුර්වල වැනිලා රසයෙන් වාතය සුවඳවත් කිරීමට භාවිතා කළ හැකි බව පවසමින් ඇය වයලට් මල්ද අපට පෙන්වූවාය. අන්නා ඉතා සතුටින් එයින් මලක් ගෙන ඇගේ කන පිටුපස රඳවා ගත්තාය.
තවදුරටත් පහළට යනවිට ෆයර්වීඩ් ( Fireweed ) ශාකවල උස දඬු සුළඟට නැඹුරු වූ අතර, ඒවායේ රෝස මල් තවමත් අතු අග පිපී පැවතුනි.එහි තරුණ රිකිලි වසන්තයේ දී ඇස්පරගස් මෙන් ආහාරයට ගත හැකි බවත්, එමෙන්ම පත්‍ර වලින් උදරය උණුසුම් කරන හොඳ ඔසු පානයක් සෑදිය හැකි බවත් අම්මා පැවසුවාය.
ඇය අසල ඇති වන ස්ට්‍රෝබෙරි ( Wild strawberry ) පත්‍රද අපට පෙන්වා දුන්නාය. ඒ පැලෑටිවල තිබූ බෙරි බොහෝ කලකට පෙර අතුරුදහන් වී ඇති නමුත් ගිම්හානයේ කෙලවර සුළු සුවඳක් ඇති තේ පානයක් සකස්කිරීම සඳහා කුඩා පත්‍ර වියළා සකස් කරගත හැකි ආකාරය ඇය පැහැදිලි කළාය.
අපි අසල තිබූ ගල්පොත්තක් මතට වී මදක් විවේක ගත්තෙමු.එහි මෘදු දම් පැහැති වලාකුළු මෙන් පිපී තිබූ හෙදර් ( Heather ) මල් මත මී මැස්සන් මලෙන් මලට කම්මැලි ලෙස මුමුණමින් සිටියෝය.අම්මා කුඩා පොතක් එළියට ගෙන එහි පිටු අතර ඇය තෝරාගත් පැලෑටි ඔබා ගත්තාය. ඇය අපට ඒවා ගැන උගන්වන අතරතුර ඇය ඒවායේ නම් පොතේ ලිව්වාය.
පසුව මම ඒවා මගේ දිනපොතේ පිටපත් කරන්නට ඉටා ගතිමි.අප වටා වනාන්තරය ජීවමාන වී ඇති බවක් දැනුන අතර සුලං අතු මත හැපී කල සෑම ශබ්දයක්ම ගිම්හානය තවමත් අවසන් වී නැති බව මට මතක් කර දුන්නේය.නමුත් සරත් සමය ගස් පිටුපස වී කොයි මොහොතක හෝ එලියට පැමිණීමට බලා සිටියේය.
ගෙදර යන අතරමගදී අපි රතු සෝරල් ( Red Sorrel ) ද එකතු කළෙමු.එහි තියුණු, ලෙමන් රසැති පත්‍ර දිව ප්‍රබෝධමත් කරයි. අම්මා පැවසුවේ ඒවා කිරි හෝ චීස් සමඟ ආහාරයට ගත යුතුයි කියායි.මක්නිසාදයත් ඒවායේ ඇඹුල් රසය ඇතිකරන ඔක්සලික් අම්ලය අඩංගු වන නිසා කිරි මගින් එය ආරක්ෂිත බවට පත් කරන නිසායි.
අන්නා එහි තියුණු රසයෙන් මත්ව අතේ තිබූ මල් සහ පත්‍ර කොඩියක් සේ වනමින් සහ සිනාසෙමින් මා පසුපස මංපෙත දිගේ දිවගෙන ආවාය.මම වුඩ් සෝරල් ( Wood sorrel ) ද දුටුවෙමි, එහි සියුම් ක්ලෝවර් හැඩැති කොළ පිනි වලින් දීප්තිමත් වී තිබුනි.අම්මා පැවසූ ආකාරයට එය රතු සෝරල් වලට සමාන රසයක් ඇති නමුත් සැහැල්ලු ලෙස සලාද වල රසය වැඩිකරලනේලු.
විවෘත තණබිම අතරින් නිවෙසට යාමට පෙර, අම්මා අපට එහි තිබූ සුදු, මිහිරි සුවඳැති මල් සහිත මිඩොව්ස්වීට් ( Meadowsweet ) පෙන්නුවාය. “මේවා හොඳම සිරප් හදන්න,හරියට මාසිපන් වගේ” ඇය අපට පැවසුවාය.”කෙසේ වෙතත්, ඇස්ප්‍රින් වලට සංවේදී සමහර අයටනම් එම තේ පානය කළ නොහැකි බව ඇය අනතුරු ඇඟෙව්වාය. අවසානයේ, නිවසේ ගේට්ටුව අසල, අපි ප්ලාන්ටේන් ( Plantain ) පැලෑටි එහි පැතලි කොළ සහ උස බීජ දඬු සමගින් සුලඟට සෙලවෙන ආකාරය දුටුවෙමු. අම්මා ඉන් එකක් මෘදු ලෙස ඇද පෙන්වා එහි බීජ කැඳ හෝ ස්මූති වලට ඉසිය හැකි ආකාරය පැහැදිලි කළාය.
අපි අපේ ගොවිපොලේ පිහිටි නිවසට ආපසු යන විට, හිරු අහසේ ඉහළට ගොස් තිබූ අතර මීදුම පහව ගොස් තිබුණි. අපේ කූඩය අප නෙලාගත් හරිත පැහැ නිධන් වලින් පිරී තිබුණ අතර ඉන් පොළොවේ සහ තණබිම්වල සුවඳ හමා ගියේය.අම්මා ඒවා ජනේලය අසල රෙද්දක් මත අතුරා, ඉන් සමහරක් තේ සඳහා වියළන ආකාරය පැහැදිලි කළ අතර අනෙක් ඒවා අද පිසිය යුතු බව පැහැදිලි කළාය. මෙම ඖෂධ පැළෑටි අපහට සෞඛ්‍ය සම්පන්නව සිටීමට සෑම විටම සෘතු සමඟ වෙනස් වන ෆින්ලන්ත භූමිය විසින් නොමිලේ දෙනලද තෑගි බවද ඇය පැවසුවාය.
මම දැන් මුළුතැන්ගෙයි මේසය අසලට වී මාගේ මේ දිනසටහන ලියන විට, කේතලය ලිප මතට වී ගායනා කරන අතරේ ඉන් හමන නෙට්ල් සුවඳ කාමරය පුරවයි. අන්නා බිම වාඩි වී ඇය නෙලාගත් තණකොළ සහ මල්වලින් ඔටුනු ගොතමින් සිටින අතර අම්මා පලා කපන අතරතුර ඇය පමණක් දන්නා ගීතයක් මුමුණන්නීය. පිටත, පක්ශීන් අහසට ගිලී නැඟී, උණුසුම් දේශයක් සොයා දකුණු දෙසට යන තම දීර්ඝ ගමන සඳහා ශක්තිය රැස් කරයි.වසර නිහඬව ශීතල කාලය දෙසට හැරෙන අතර, අපි සවන් දීමට සහ ඇස් හැර බැලීමට ඉගෙන ගන්නේ නම් සොබාදහම අපට නොයෙකුත් ධන නිධාන සපයන බව අද මම ඉගෙනගත් පාඩමයි.
Kiitos ☺

Comments
Post a Comment